Thursday, January 02, 2025
Follow Us
පාසල් ළමුන්ගේ ලිපි ද්‍රව්‍ය  දීමනාව ලබා දීම ඇරඹෙයි

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබේ. 

ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55  කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇත. 

මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වේ. 

මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2 ක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බව ද, සියයට 26.1 ක් පෙර භාවිත කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිත කිරීමට යොමු වී ඇති බව ද අනාවරණය වී ඇත. 

එලෙස අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර ඇත.

එහි දී, පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා  එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එය 2024.12.27 දින වන විට අස්වැසුම බැංකු ගිණුම් හරහා ගෙවීමට භාණ්ඩාගාරය කටයුතු කර ඇත.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000.00 ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාවයි.