Saturday, July 27, 2024
Follow Us
කෙරවලපිටිය කසළ අංගනයෙන් දැවිතෙල් නිෂ්පාදනයටත් සැලසුම්

වත්තල, කෙරවලපිටිය කසළ අංගනය අපද්‍රව්‍ය කළමණාකරණ උද්‍යානයක් ලෙස සංවර්ධනය කෙරේ.

කසළ කළමණාකරණයෙන් පරිසරය පිරිසිදුව පවත්වාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම උද්‍යානය නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන්නේ ඒ අනුව මෙහි කසළ යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට අමතරව දැවිතෙල් නිෂ්පාදනය, ප්‍රාථමික ජෛව අඟුරු නිෂ්පාදනය ඇතුළු තවත් නවමු නිෂ්පාදන සිදුකරමින් මෙම උද්‍යානය නිර්මාණය කිරීමට නියමිත බවයි.

එමෙන්ම කෙරවළපිටිය කසළ අංගනයේ දිරාපත්වන කසළ යොදාගනිමින් දිනකට කසළ මෙට්ට්‍රික් ටොන් 20ක පමණ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර සිල්ලර වෙළඳපොළට නිකුත් කරනු ලැබේ.

මේ වනවිටත් කෙරවළපිටිය කසළ අංගනයේ කොම්පෝස්ට් පොහොර ටොන් 1500ක් පමණ නිපදවා තිබෙන බවද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

කෙරවළපිටිය කසළ අංගනයේ නිපදවන කොම්පෝස්ට් පොහොර රසදිය හා ඊයම් අඩංගු නොවන බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතාම සුදුසු බවත් රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවී තිබේ.
කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා ලෝන්ග් ආර්ම්, ෂෝට් ආර්ම්, ජේ.සී.බී. (ලොකු), ජේ.සී.බී.(කුඩා), බොක්ස් කට් මැෂින්, වින්ඩෝ ටර්නර්, ටකර් යන යන්ත්‍ර සූත්‍ර බැගින් ද, ටිපර්, අතින් ක්‍රියාත්මක කරන කුණු තෝරන මැෂින්, ස්වයංක්‍රීයව කසල තෝරන මැෂින් බැගින් ද, කසලවලින් ජෛව කොම්පෝස්ට් වෙන් කරන යන්ත්‍ර බැගින් ද කසල අංගනය තුළ ස්ථාපිත කර තිබේ.

තවද, නිෂ්පාදනය කරන ජෛව කොම්පෝස්ට් හලා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රද කෙරවළපිටිය කසළ අංගනය සතුව පවතී.

ඊට අමතරව මෙහි දැනටමත් දැවිතෙල් නිෂ්පාදනය සඳහා පොලීතීන් හා ප්ලාස්ටික් ටොන් ලක්ෂ එකහමාරක් පමණ මෙහි එකතුකර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන්නේ ඒවා යොදාගනිමින් අනාගතයේදී දැවි තෙල් නිෂ්පාදනය කිරීමට නියමිත බවයි. ඒ සඳහා පුද්ගලික සමාගමක් සමඟ එක්ව කටයුතු සිදුකරන බවද එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

දිරන කසළ හා නොදිරන කසළ යනුවෙන් වර්ග කරමින් මෙම කසළ අංගනයට කසළ බාරගනු ලබයි.
කොළඹ නගර සභාව ප්‍රධාන කසළ සැපයුම්කරුවා ලෙස කටයුතු කරන මෙහි, සෙසු කසළ සැපයුම්කරුවන් ලෙස වත්තල, ජා-ඇළ, දොම්පේ, අත්තනගල්ල යන ප්‍රාදේශීය හා නගර සභාවන් කටයුතු කරයි.

මෙයට අමතරව පෞද්ගලික අංශයේ සැපයුම්කරුවන් රැසක් ද කෙරවලපිටිය කසල අංගනයට සැපයීමේ කටයුතුවල නිරතව සිටියි.

ඒ අනුව කෙරවලපිටිය කසල අංගනයට දිනකට දිරාපත්වන කසල මෙට්‍රික් ටොන් 550ක් ලබාගන්නා අතර දිරාපත් නොවන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් ලබා ගනී.

එලෙස ලබාගන්නා කසළ දිරාපත්වීම සඳහා මාස 06 ක පමණ කාලයක් කසළ කඳු ලෙස ගොඩගසා තැබේ. එහිදි කසලවල දුර්ගන්ධය නැතිකිරීම සඳහා විශේෂ බෙහෙත් වර්ගයක් භාවිතා කර ඉන් අනතුරුව පියවර කිහිපයක නිෂ්පාදන ක්‍රියාවලියකින් පසු ජෛව ගුණැති කොම්පෝස්ට් මිශ්‍රණය සකස් කෙරේ.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ අරඹන ලද කෙරවලපිටිය කසල අංගන ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ආරම්භ කරනු ලැබීය.

ප්‍රමාණයෙන් අක්කර 400 ක් වූ ශ්‍රි ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවලපිටියේ පිහිටි ඉඩමකින්, අක්කර 20 ක භූමි භාගයක මෙම කසළ අංගනය ඉදිකර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කෙරවලපිටිය කසළ අංගනය මෙතෙක් පවත්වාගෙන පැමිණි, දිනකට නිෂ්පාදනය කරන ජෛව පොහොර ධාරිතාවය ඉහළ නංවා ගැනීමේ ඉදිරි සැලසුම මේ වන විටත් සකස්කර තිබෙන බවයි.

-Dinamina