නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණයට දන්වා සිටියා.
කෙසේ වෙතත් අදාල කාලසීමාව තුළ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන මුලික නීතිමය පියවර ආරම්භ කිරීමට වගඋත්තරකරුවන්ට බාධාවක් නොමැති බව ද අධිකරණය ප්‍රකාශ කළා.
එමෙන්ම අදාල ප්‍රදේශයෙන් ස්වෙච්ඡාවෙන් ඉවත් වීමට කැමති පුද්ගලයින්ට ඉන් ඉවත්ව යාමට මෙම එකඟතාව බාධාවක් නොවන බවත් අධිකරණය ප්‍රකාශ කළා.
ගාලු මෝදර 'ගෝඨා ගෝ ගම' අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙසට පොලිසිය විසින් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබා දීම සිදු වුණා.
Neth