ගංඟා නවයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්
අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් ගංඟා නවයක් ආශ්‍රිතව අද (08 වැනිදා) සිට 10 වැනිදා දක්වා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
දැදුරු ඔය,මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිත ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම ගංඟා නිම්නවල පහත් බිම්වල පදිංචි ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ඊයේ (07 වැනිදා) රාත්‍රි වන විට කළු සහ කැලණි යන ගංඟාවල ජල ගලනය ඉහළ ගොස් තිබූ නමුත්,ගංවතුර මට්ටමක් ඇති නොවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.
කුකුලේ ගඟ වාන් දොරටු විවෘත කිරීම නිසා කළුගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇත. මේ නිසා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තඹල ප්‍රදේශය හා පාලින්දු නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිදලන ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ. තඹල ප්‍රදේශයේ වාහන ගමනාගමනයටද බාධා පැමිණ ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
දිවයින වටා වර්ධනය වී තිබෙන සුළං අභිසාරී කලාපයේ බලපෑම මත අද (08 වැනිදා) සහ හෙට (09 වැනිදා) වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බවත්, වයඹ සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවද පවසයි.
එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද වැඩිවනු ඇත.
ඊයේ (07 වැනිදා) පෙරවරු 8.30 න් පසු වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ අයගම ප්‍රදේශයෙනි. එය මිලි මීටර් 119 කි. කළුතර, දෙල්මැල්ල ප්‍රදේශයෙන් මිලි මීටර් 94 ක වර්ෂාපතනයක්ද, පාහියංගල ප්‍රදේශයෙන් මිලි මීටර් 90 ක වර්ෂාපතනයක්ද, කුරුණෑගලින් මිලි මීටර් 90 ක වර්ෂාපතනයක්ද, කෑගල්ලෙන් මිලි මීටර් 94 ක වර්ෂාපතනයක්ද වාර්තා වූ බව කාර්ය භාර කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසයි.
කොළඹ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයෙන් වාර්තා වී ඇත්තේ මිලි මීටර් 24 කි.
(Aruna)