Friday, March 29, 2024
Follow Us
කෝටි දෙදාහේ මැණික

රත්නපුරේ පතලයකින් රුපියල් කෝටි දෙදාහක් වටිනා මැණිකක් හමු වී තිබෙන කතාව ගොඩක් අයට අහන්න ලැබෙන්න ඇතිනේ. ඇතැම් වාර්තා අනුව මැණික ඒ තරම්ම වටින්නේ නැහැ. ලිපිය ඉදිරියට ගෙන යාමේ අරමුණ පමණක් පෙරදැරිව මේ මැණික ඇත්තටම රුපියල් කෝටි දෙදාහක් වටිනවා කියලා අපි උපකල්පනය කරමු. අපට සාකච්ඡාවට බඳුන් කරන්න අවශ්‍ය අදහස් බොහොමයක්ම ඉදිරිපත්ව තිබුණේ එම උපකල්පනය මත පදනම්වයි.

පළමු ප්‍රශ්නය මේ වගේ වටිනා මැණිකක් මැණික් ව්‍යාපාරිකයෙකුගේ වත්තෙන්ම මතු වුනේ කොහොමද කියන එක. ඇතැම් අය මේ ප්‍රශ්නය මතු කර තිබෙනු මම දැක්කා. බොහෝ විට රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්ට අනෙක් සාමාන්‍ය අයට වඩා වැඩියෙන් විශාල ලොතරැයි දිනුම්ද ඇදෙනවා. ඔය වගේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙද්දී කුණු තියෙන තැනටමයි කුණු ඇදෙන්නේ කියලා සමහරු හූල්ලනවා. මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දන්නෝ දනිති කියා මම හිතනවා. මේ මැණික ඇතැම් විට ඇත්තටම අදාළ පුද්ගලයාගේ වත්තෙන්ම ලැබුණු එකක් විය හැකි නිසා, හරියටම කරුණු නොදැන මම වැඩිදුර මුකුත් කියන්නේ නැහැ.

මීටත් වඩා වැදගත් ප්‍රශ්නය දෙවන ප්‍රශ්නයයි. මහ පොළොවෙන් හමු වන මේ වගේ වටිනා මැණිකක තනි අයිතිය ඉඩමේ හිමිකරුට ලැබෙන එක සාධාරණද? ලංකාවේ හැමෝටම රුපියල් පන්සීය බැගින් බෙදලා දුන්නත් ඔය කෝටි දෙදාහෙන් කෝටි දාහක්ම ඉතුරු වෙනවනේ.

වටිනා මැණිකක් කියා කියන්නේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව හැදුනු දෙයක් මිසක් ඉඩම අයිතිකරුගේ ශ්‍රමයෙන් හදපු දෙයක් නොවන බවට තර්ක කළ හැකි නිසා මේ අදහසට කිසියම් පදනමක් තිබෙනවා. එහෙමනම්, පොළොවෙන් ලැබෙන මැණිකක් වැනි වටිනා දෙයක් ඉඩම අයිතිකරුට හිමිවීම වැරැද්දක් නොවන්නේ කොහොමද?

කෝටි ගණනක් වටිනා, පොළොවෙන් හමු වූ මැණිකක් ඉඩම අයිතිකරුටම අයිති වීම පවතින සමාජ-ආර්ථික ක්‍රමයේ වරදක් ලෙස දකින ගොඩක් අයට පහසුවෙන් අමතක වන දෙයක් වන්නේ එම මැණිකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියන එකයි. මෙවැනි මැණිකකට එපමණ වටිනාකමක් ලැබෙන්නේම ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න සූදානම් අය සිටින නිසයි. එසේ නැතුව මේ වගේ මැණිකක බොහෝ විට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ.

ලෝකයේ මිනිසුන් අතර අද මෙන් ගනුදෙනු සිදු නොවන කාලයකදී දුප්පත් ගැමියෙකුගේ වත්තෙන් මේ වගේ මැණිකක් ලැබුණා කියා හිතන්න. ඒ මැණිකෙන් ඔහුට තිබෙන ප්‍රයෝජනය කුමක්ද?

පිළිතුර ඉතාම සරලයි. පැහැදිලියි. මේ වගේ මැණිකකින් ඔහුට කිසිම වැඩක් නැහැ. ඕනෑනම් එය මිදුලේ තිබෙන්න හැර හවසට ඒ මත වාඩි වී විටක් හපන්න පුළුවන්. බොහෝ විට කවුරුවත් ඔය මැණික රෑට ඇවිත් හොරකම් කරගෙන යන එකක් නැහැ. එහෙම ගෙනිච්චා කියලා ගෙනියන කෙනෙකුටත් එයින් ඇති වැඩක් නැහැ.

කාලයකට පෙර තමන්ගේ වත්තෙන් මැණිකක් වගේ වටිනා දෙයක් හොයාගත් කෙනෙක් බොහෝ විට කළේ එය රජ තුමාට හෝ වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියෙකුට තෑගි කරන එක. මෙය මහ පොළොවෙන් හමු වන දෙයෙහි අයිතිය රජතුමා සතු වූ නිසා කළ දෙයක් කියා කියන්න පුළුවන් වුනත් එහි ඊට වඩා දෙයක් තිබෙනවා. ඔය වගේ දෙයක් රජ තුමාට තෑගි කිරීමෙන් පසුව බොහෝ විට ධාන්‍ය කරත්තයක් හෝ හරක් බානක් වැනි වෙනත් යමක් ආපසු තෑගි සේ ලැබෙනවා. මැණිකෙන් සෘජු ප්‍රයෝජනයක් නැතත් ධාන්‍ය කරත්තයෙන් හෝ හරක් බානෙන් ගැමියාට සෘජු ප්‍රයෝජනයක් තිබෙනවා. අනෙක් අතට රජතුමා සතුව අදාළ මැණිකට වටිනාකමක් දිය හැකි තරමට ධාන්‍ය, හරකා බාන වැනි මූලික මට්ටමේ සම්පත් අඩුවක් නැතිව තිබෙනවා.

අද රත්නපුරේ පතලයකින් හමු වන මැණිකක් ලෝකයේ කොහේ හෝ අයෙකු විසින් මැණික් වෙන්දේසියකින් මිල දී ගනිද්දී සිදු වන්නේත් සංකල්පීය ලෙස යම් තරමකින් ඔය වගේම දෙයක්. මේ වගේ මැණිකක් මුදල් ගෙවා මිල දී ගන්නට කැමති අය මහ ගොඩක් නැහැ. බොහෝ විට මෙය මිල දී ගන්නේ සමරු අයිතමයක් (collector's item) ලෙසයි. එසේ මිල දී ගන්නේ කිසියම් ධන කුවේරයෙකු හෝ කෞතුකාගාරයක් විසින් විය හැකියි. මිල දී ගන්න මැණික් ගල සමරු අයිතමයක් ලෙස තබා ගන්නවා හෝ ප්‍රදර්ශනය කරනවා හැර එය මිල දී ගන්නා අයෙකු විසින් එයින් වෙනත් සෘජු ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ.

කන්න අඳින්නවත් සල්ලි නැති කෙනෙකුට මැණික් මිල දී ගන්න පුළුවන්කමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් කරන්නේ සැලකිය යුතු වත්කමක් තමන් සතුව තිබෙන කෙනෙක්. එවැනි විශාල වත්කමක් යමෙකු සතුව තිබිය හැක්කේ වෙනත් අය විසින් වටිනා සේ සලකන මොනවා හෝ දෙයක් නිර්මාණය කර හුවමාරු කළේනම් පමණයි. මැණික් ගල විකුණා මුදල් ලබා ගන්නා පුද්ගලයා පොහොසතෙක් වන ආකාරයේම ක්‍රියාවලියක් එය මිල දී ගන්නා පුද්ගලයා පොහොසතෙකු වීමේ ක්‍රියාවලිය තුළත් තිබෙනවා. මැණික් ගලට වටිනාකම දෙන්නේ ඔහු විසින් වනවාක් මෙන්ම ඔහු පොහොසතෙකු වී තිබෙන්නේ වෙනත් අය වටිනාකම් දෙන කවර හෝ දෙයක් නිවැරදිව හඳුනා ගැනීම නිසා.

තමන්ට අවශ්‍ය නැති මැණික් වැනි දෙයක් සෙවීම සඳහා කිසියම් අයෙකු විසින් තමන්ගේ ශ්‍රමය යොදවන්නේ මැණිකකට වටිනාකමක් දෙන කවුරු හෝ අයෙකු සිටින නිසා. එවැන්නෙකුගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නේම ධනවාදය තුළ සිදුවන නිදහස් හුවමාරුව නිසා. හුවමාරු කිරීමේ හැකියාවක් නැත්නම් ඔහු ගොවිතැනක් බතක් කරගෙන ඉන්නවා මිස මැණික් හොයන්න වෙහෙසෙන්නේ නැහැ.

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. වී ගොවියෙක් වී විකුණා අත් ට්‍රැක්ටරයක් මිල දී ගන්නේ ඔහුට සාපේක්ෂව අත් ට්‍රැක්ටරයයේ වටිනාකම වී වල වටිනාකමට වඩා වැඩි නිසා. අත් ට්‍රැක්ටර් හදන ජපන් සමාගම එය යම් මිලකට විකුණන්නේ ඔවුන්ට එම මිලට එය විකිණීමෙන් ලාබයක් තිබෙන නිසා. මේ වැඩෙන් දෙපාර්ශ්වයටම සිදු වන්නේ ලාබයක්. එම ලාබය අලුතෙන්ම ජනනය වන වටිනාකමක්. රුපියල් කෝටි දෙදාහකට මැණිකක් මිල දී ගන්නා අයෙක් එහිදී වැය කරන්නේත් මේ ආකාරයෙන් ජනනය කරගත් වටිනාකම් වල මුදල් අගය. එවැන්නෙක් එසේ කරන්නේ ඔහුට සාපේක්ෂව අදාළ මැණික අවම වශයෙන් රුපියල් කෝටි දෙදාහක් වටින නිසා. වෙනත් අයෙකු විසින් එම මුදල ගෙවා එය මිල දී නොගන්නේ වෙනත් කිසිවෙකුට මැණික එපමණ නොවටින නිසා. මැණිකේ වටිනාකම රුපියල් කෝටි දෙදාහක් වන්නේම එපමණ මිලක් ගෙවා එය මිල දී ගන්නා පුද්ගලයෙකු සිටින නිසා.

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. කෝටි දෙදාහක මැණිකකට එම වටිනාකම ලැබීම තුළ පියවරෙන් පියවර වටිනාකම් එකතු වීමේ ක්‍රියාදාමයක් තිබෙනවා. මැණික වසර ලක්ෂ හෝ කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව මහ පොළොවේ හැදී තිබෙනවා විය හැකි වුවත්, කිසිම නෛසර්ගික වටිනාකමක් නැති එවැනි මැණිකකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ ධනවාදය තුළ නිදහස් ගනුදෙනු හරහා සිදුවන වටිනාකම් එකතු වීමේ ක්‍රියාවලිය නිසා මිසක් එය හැදෙන්න විශාල කාලයක් ගත වූ නිසා හෝ එවැනි මැණික් දුලබ වීම නිසාම නෙමෙයි. මැණික ලැබුණේ මහ පොළොවෙන් වුනත් මැණිකේ වටිනාකම මහ පොළොවෙන් ලැබුණු දෙයක් නෙමෙයි.

(LNW)