ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරි වෝල්ට් (Dr. Siri Walt) මහත්මිය සහ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ක්රීඩා අමාත්යාංශයේදී ඊයේ (24දා) පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්රී ලංකාවේ තරුණ පරපුරේ සංවර්ධනය වෙනුවෙන් ක්රියාත්මක කළ හැකි නව වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම තරුණ සංවර්ධන ව්යාපෘති සම්බන්ධයෙන් සුහදශීලී හා ඵලදායී අදහස් හුවමාරුවක් මෙහිදී සිදු කෙරුණි.ඉදිරි කාලයේදී තරුණ හා ක්රීඩා අමාත්යාංශය සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඒකාබද්ධව නව ව්යාපෘති රැසක් ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා විය.
අනාගතයේදී තරුණ ප්රජාව වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඒ සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහයෝගය ඇතිව අමාත්යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ ඕනෑම තරුණ සංවර්ධන ව්යාපෘතියක් විනිවිදභාවයෙන් යුතුව ආරම්භ කිරීමට පූර්ණ අවස්ථාව පවතින බවයි.
"අපේ රජය දූෂණයෙන් තොරයි. ඒ නිසා ශ්රී ලාංකික තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කර ඔවුන් ලෝක වෙළඳපොළට ගැළපෙන දක්ෂ ශ්රමිකයින් බවට පත් කිරීම සඳහා වන ඕනෑම වැඩසටහනක් ඔබට අප සමඟ එක්ව ආරම්භ කළ හැකියි," යනුවෙන් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට අමාත්යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.