Monday, May 13, 2024
Follow Us
ආදාහනයද? භූමදානයද? රජයේ ස්ථාවරය අධිකරණයට

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරයේ වෙනසක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන අධිකරණය හමුවේ අද දැනුම් දුන්නා. ඒ, මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වූ නඩු විභාගය වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවු අවස්ථාවේදීයි.

මහර බන්ධනාගාරයේ ඉකුත් නොවැම්බර් 29 වනදා ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුව තහවුරු වුණා. ඉන් 04 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම මෘත ශරීර ආදාහනය කරන ලෙසටයි නියෝග කෙරුණේ.

සෙසු සිව්දෙනාගේ මරණ පරීක්ෂණ වාර්තා ඉකුත් 23 වනදා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දෙපාර්ශවයේ කරුණු දැක්වීම හමුවේ ඒ පිළිබඳ අවසන් තීරණය අද දිනයට කල් තැබුණා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින් ඇතුළු සියලූ ආසාදිතයින්ගේ මෘත ශරීර, ආදාහනය කළ යුතු යැයි මේවනවිටත් රජයේ ස්ථාවරය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ලිඛිතව දැනුම් දී තිබුණා. ඒ අනුවයි කොරෝනා ආසාදිතව මියගිය බන්ධනාගාරයේ සෙසු රැඳවියන් සිව්දෙනාගේ මෘතශරීර රජයේ වියදමෙන් ආදාහනය කරන ලෙසට අද දැනුම් දුන්නේ.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි වෙත අද භාරදුන්නා. බන්ධනාගාර ගැටුමට හේතුවූ කරුණු හා ගතයුතු පියවර පිළිබඳ සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරුණු කාර්යය භාරයයි.

(Neth)