Saturday, April 27, 2024
Follow Us
ජනතාව කළ යුත්තේ රෝගය සමාජගත වෙලාදැයි සෙවීම නෙවෙයි, එසේ නොවීමට වැඩ කිරීමයි - සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක

රටේ ජනතාව මේ මොහොතේ කළ යුතුව ඇත්තේ කොරෝනා වෛරසය සමාජගතව ඇත්දැයි යන කරුණ පසුපස හඹායාම නොව එය එසේ නොවීම සඳහා කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

"රෝගය සමාජගත වෙලා තියෙනවා නම් ඒක නීත්‍යානුකූලව වසංගත රෝග විද්‍යා ඒකකය මගින් ප්‍රකාශයට පත් කළ යුතුයි, ඒක තමයි රටක නීත්‍යානුකූල ස්වභාවය. මොකද මේක සුළුවෙන් තකන්න පුළුවන් කාරණයක් නෙවෙයි, සෙල්ලම් කාරණයකුත් නෙවෙයි.

රෝගය සමාජගත වෙලා කියලා ප්‍රකාශ කරනවා නම් එය විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන කරන්න ඕනෙ. ඉතිං ඒක හින්දා ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කරන තෙක් අපට දැන් මේ වාර්තා වෙන සිද්ධිත් එක්ක නිවැරදිවම ඒක කළ නොහැකියි. එහෙම කියන්න බෑ. හේතුව තමයි ඒ පිළිබඳ නිවැරදිව විද්‍යාත්මක විශ්ලේෂණයක් තියෙන්නට ඕනෙ, මේ රෝගය පිළිබඳව ආශ්‍රිතයින් හඹා ගොස් ඔවුන් හොයාගැනීමේ අපහසුවක් තියෙනවා නම් එය තහවුරු වෙනවා නම් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් කළයුතු කාරණයක්.

හැබැයි ඔබ මගෙන් වෙන විදියකට ඇහුවා නම් ... මේ විදියට වාර්තා වෙනකොට ඒක සමාජගත වෙලා කියන එක කියන්න ඉඩ තියෙනවා නේද, එහෙම නැත්නම් සමාජගත වෙලා කියන එක තහවුරු වෙන්න ඉඩ තියෙනවා නේද කියලා ඇහුවොත් මම ඒකට කියනවා ඔව් එහෙම වෙන්න පුළුවන් කියලා. අනිත් එක තමයි අපි මේ රටේ පුරවැසියෝ අපි බලාගෙන ඉන්නෙ මේක සමාජගත වෙනකල්ද ? අපි එතෙන්ට උත්තරේ හොයමු.

මොකද රෝගයක් සමාජගත වෙලා කිව්වොත් එතනින් එහාට රටේ කොතනින් පටන් ගනීද, කොහෙ රෝගීන් හම්බවෙයිද, කොච්චර දරුණුවට පැතිරෙයිද කියන එක ගැන ලොකු ගැටළු සහගත තත්වයක් ඇතිවෙනවා. ඒ නිසා එහෙම වෙන්න ඉඩ තියෙන වාතාවරණයක් එන්න දැන් ඉඩ තියෙනවා. අපට විවිධ ප්‍රදේශවලින් අහඹු ලෙස පොකුරු ඇතිවෙමින් තියෙනවා, මේ පොකුරු ප්‍රධාන පොකුරට සම්බන්ධ කිරීමේ කරුණු හොයාබැලීම තමයි සිද්ධ වෙන්නෙ.

ඉතිං මහජනතාව කළයුතු වැදගත්ම දේ තමයි සමාජගත වෙලාද කියන කාරණය පස්සෙ හඹාගෙන ගිහිල්ලා ඒක ඔප්පු කරනකල් බලාගෙන ඉන්නෙ නැතුව එහෙම වෙන්නෙ නැතිවෙන්න වැඩ කරන එක තමයි මේ වෙලාවෙ අපේ රටේ අපි එකතුවෙලා කළ යුත්තේ කියන එකයි මගේ මතය සහ මං විශ්වාස කරන්නේ. සමාජගත වෙලා කියන එක ටිකක් බරපතළ කාරණයක්, එහෙම කියන්නට විද්‍යාත්මකව තහවුරු කරගෙන වසංගත රෝග විද්‍යා ඒකකය ඒක ප්‍රකාශ කරනතුරු අපට ඒක ගැන එහෙම කතා කරන්න බැහැ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අද (20) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමිනි.

කොරෝනා වෛරසය සමාජගත වී නැතැයි කිව නොහැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරකවරයා ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඊට පිළිතුරක් වශයෙනි සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ.

(LNW)