Friday, November 14, 2025
Follow Us
සිරුරට අහිතකර ආලේපන පිටකොටුවේදී සොයාගෙන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (15 වැනිදා) ඒකාබද්ධව කළ වැටලීමකදී පිටකොටුව වේල්ලවීදියේ මහල් නිවාස සංකීර්ණය අසල තිබූ වෙළෙඳ සලකින් රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් මනුෂ්‍ය ශරීරයට අහිතකර රූපලාවණ්‍ය ආලේපන තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. පාකිස්තාන ජාතිකයකු විසින් මෙම වෙළෙඳසල පවත්වාගෙන ගොස් ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.

මෙම රූපලාවණ්‍ය ආලේපන හා සුවඳ විලවුන්වල නිෂ්පාදිත රට, කල් ඉකුත්වී‍මේ දිනය, ආනයනය කළ ආකාරය ඇතුළු තොරතුරු කිසිවක් ​අනාවරණය වී නොමැත. මේවා නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පාරි​භෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පොලිසිය ඒකාබද්ධව මීට පෙරද පිටකොටුව ප්‍රදේශයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආලේපන වර්ග සොයා ගන්නා ලදී. දිවයින පුරා සුවඳ විලවුන් හා ආලෝපන වර්ග අලෙවි කරන වෙළෙඳසල් දහසක් පමණ දැනුවත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

(Aruna)