Friday, November 14, 2025
Follow Us
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට යළිත් ස්ථාන මාරුවක්

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු කෙරුණු හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පොලිස් මූලස්ථානය වෙත යළි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුවයි.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන අත්අඩංගුවට ගෙන සිටි රියාජ් බදියුදීන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කිරීමට අදාළව සිදුකළ මාධ්‍ය ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට චෝදනා එල්ල වුණා.

ඉන්පසුවයි ඔහුව විනය හේතූන් මත උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පොලිස් කොමිෂන් සභාව විසින් මාරු කර යැවුණේ.

කෙසේවෙතත් හිටපු මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න යළි විශේෂ රාජකාරී පදනම මත පොලිස් මූලස්ථානය වෙත මාරු කර තිබෙනවා.

ඒ, කොවිඞ් 19 පොලිස්පති පාලන මැදිරිය වෙතයි. කෙසේවෙතත් හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා යළි පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවද වාර්තා වනවා.

මේ අතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ, අදාළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් රුපියල් මිලියන 5 බැගින් වන්දි මුදල් ඉල්ලා එන්තරවාසි යැවීම සම්බන්ධයෙන්.

ඊට හේතුවී තිබෙන්නේ බිම්ෂානි ජාසිංහආරච්චි කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පත් කිරීමට එරෙහිව බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් වැඩබලන පොලිස්පතිවරයාට එන්තරවාසි යැවීම සම්බන්ධයෙන් අදාළ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බවයි ජාතික පොලිස් කොමිසම පැවසුවේ.

මෙරට ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් කෙරුණු බිම්ෂානි ජාසිංහආරච්චි, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ඊයේ වැඩ භාරගත්තා.

(Neth)