අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේදී සිසුන්ගේ සහ විභාග මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් රජය ප්‍රමාණවත් අවදානයක් යොමුකර නොමැති බවට ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.
"විභාග කොමසාරිස් ජනරාල්වරයා ලිපියක් මගින් දැනුම් දෙනවා විභාග මධ්‍යස්ථානවල සියලුම විභාග ශාලාධිපතිවරුන්ට විභාග ශාලා ආශ්‍රිත අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 1000ක් වෙන්කර ඇති බැවින් එය සම්බන්ධව සුදුසු කටයුතු ඉටුකර දෙන මෙන් උපදෙස් දෙමි කියලා.
දවස් 22ක් විභාගෙ තියෙනවා. රුපියල් 1000න් මේක කරන්න පුළුවන්ද ? අත්වැසුම් කට්ටලයක්ම රුපියල් 3500ක් විතර වෙනවා. අනිත් එක මේ මුදල දෙන්නෙත් නැහැ. විභාග ශාලාධිපති මේක වියදම් කරලා පස්සෙ පියවා ගන්න ඕනෙ. දැන් මේක මහ විහිළුවක්.
අපි දැක්කා පහුගිය කාලෙ කොවිඩ් තත්වය තුළ මැතිවරණය තිබ්බා. නමුත් මේ තරම් අවදානම්සහගත තත්වයකුත් තිබුණෙ නෑ ඒ වෙලාවෙ.
නිරෝධායනය වෙන ළමයි සම්බන්ධයෙන් අනුගමනය කළයුතු පිළිවෙත, ඒ සම්බන්ධ පැහැදිලි නිර්ණායක මොනවද කියලා අදාළ විභාග මධ්‍යස්ථානයේ ඉන්න ශාලාධිපති දැනුවත් වෙලා නෑ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නෙවෙයි ගුරු සහ විදුහල්පතිවරුන්. ඔවුන්ට ලොකූ අවබෝධයක් නෑ හදිසි තත්වයක් ඇතිවුණොත් කොහොමද කටයුතු කරන්නෙ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ජෝශප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ලංකා ගුරු සංගමය විසින් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)