Friday, November 14, 2025
Follow Us
කටුනායක නිදහස් වෙළද කළාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 03ක්

කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අද (11) දින සවස 4.00 ට පමණ වනවිට තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව කටුනායක, සීදුව ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිත සේවකයින් තිදෙනෙකු සිදුකළ PCR පරීක්ෂණ වලින් වාර්තා වී තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කටුනායක පිහිටි නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලේ සේවකයින් දෙදෙනෙකු සහ චීප් වේ නම් ඇගළුම් කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු බවයි ප්‍රදේශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ.

පසුගිය 09 වන දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තිදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන් වාර්තා වූ අතර ඊයේ දිනයේදී සේවකයින් 11 දෙනෙකු වාර්තා වුණා.

මේ අතර ඊයේ දින සවස ආඩිඅම්බලම ප්‍රදේශයේ නේවාසිකව සිටි නෙක්ස්ට් ඇගලුම් කම්හලේ සේවකයෙකු හටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නීරෝධායනයට යොමු කර කර තිබේ.

එමෙන්ම ඊයේ දින කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සිටින සේවකයින් 800 කට අධික ප්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබූ අතර මේ වනවිට ඒවායේ ප්‍රතිඵල නිකුත් වෙමින් පවති.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ අත් වැසුම් නිපදවන කම්හලක සේවකයින් 500 කගේ පමණ පී.සී.ආර්.පරීක්ෂණ පසුගිය 09 වෙනි දින සිදු කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අනුව කිසිදු කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තා වී නොමැති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)