Thursday, November 13, 2025
Follow Us
බස්වල මගීන් ආසන ගණනට: මුව ආවරණ අනිවාර්යයි: අත්‍යවශ්‍ය සේවාවලට ලංගමයෙන් බස්

පෞද්ගලික සහ ලංගම බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහන කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම බස් සේවකයන්ට දැනුම් දී තිබේ.

එසේම බස් රථවල ගමන් ගන්නා සියලුම මගීන්ට මුව ආවරණ පැලඳීම අනිවාර්ය බවද දැනුම් දී ඇත. මේ අතර දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ජී.එස්. පොල්වත්ත ‘අරුණ’ට පැවසීය.

එසේම දුම්රිය ස්ථානවලට ඇතුළුවීමේදී සියලුම මගීන් මුව ආවරණ අනිවාර්​යෙන් පැලඳිය යුතු බවද ඔහු සඳහන් කළේය. එසේම දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය නිර්දේශ දැඩි ලෙස පිළිපදිමින් දුම්රියෙහි ගමන් ගන්නා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක් කරයි. තවද දිවයිනේ සියලුම ප්‍රදේශවල ධාවනය වන ලංගම බස් රථවලද ආසන ගණනට පමණක් මගීන් නංවා ගන්නා ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය සියලුම බස්රථ සේවකයින්ට දැනුම් දුන් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසීය.

එසේම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සෞඛ්‍ය අංශවලට බස්රථ අවශ්‍ය නම් එම බස් රථ ලබාදීමට සූදානම් බවද ලංගම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)