Thursday, November 13, 2025
Follow Us
පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටන ජාවාරමක්

අධිකරණ අමාත්‍යාංශයෙහි ලිපිකරු,කාර්යාල කාර්ය සහයක,රියදුරු හා මුරකරු පත්වීම් ලබාදෙන බව දන්වමින් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි හා පත්වීම් ලිපි ලබාදී විවිධ ප්‍රමාණයේ මුදල් ලබාගනිමින් පුද්ගලයන් රවටා වංචා සහගතව සිදු කරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අණාවරණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණී අවස්ථාවේදී එසේ අනාවරණය වූ අතර අම්පාර , මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශ වලින් පැමිණ සිටි පිරිස් ඒ අතර විය‍.

මෙම තරුණ තරුණියන්ගෙන් .17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන තිබූ අතර මුදල් ලබාදී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණි.

මෙම වංචනිකයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන ලෙස අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙහිදී, අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේ රජයේ ආයතන සඳහා බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් පවතින බැවින් උගත් තරුණ තරුණියන් ලෙස මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කිරීමේ වගකීම ඔවුන් සතුව පවතින බවයි.

(news.lk)