Thursday, November 13, 2025
Follow Us
විදේශිකයන් ගෙන ඒම තහනම් – යුද හමුදාපති

මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මත්තල ගුවන් තොටුපොළේ නිලධාරීන් කොවිඩ් මධ්‍යස්ථානයට හෝ සෞඛ්‍ය නිලධාරීන්ට නොදන්වා මත්තලට පැමිණි රුසියානු ගුවන්යානයක කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනකු මාතර, පොල්හේනේ හෝටලයක නවත්වා සිටියදී බාහිර සමාජයට ගිය අයකුට කොවිඩ් වැලඳී ඇතැයි හෙළිවිය. මින් පසුව අදාළ තීරණය දැනුම් දී ඇත. මාතර කොවිඩ් ආසාදිතයාගේ පසුව කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔහුට කොවිඩ් නොමැති බව සනාථ විය.

කොවිඩ් මධ්‍යස්ථානයට නොදන්වා මත්තල ගුවන් තොටුපොළින් හය වතාවක් මේ අයුරින් විදේශ ගුවන්යානාවල පැමිණි පිරිස් හිතවතුන්ගේ වාහනවලින් හිතවත් හෝටල්වල නවත්වා ඇතැයි දැනට කරන විමර්ශනවලදී හෙළිවී ඇත. මින් ඉදිරියටත් විදෙස් රටවලින් පැමිණෙන අය රඳවා තැබිය හැක්කේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

අරුණ