Thursday, November 13, 2025
Follow Us
2015-2019 කාලය තුළ කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට භාර දෙයි

2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීම සඳහා නීතීඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, ඔවුන් විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාව ඊයේ ( 23 වන දින ) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2015-2019 කාලය තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර තිබුණා. ඒ වාර්තාව අද මට ලබාදුන්නා. කාරණා අටක් සම්බන්ධයෙන් මෙහි ඇතුළත් වෙනවා. විශේෂයෙන් රන්පියාපත් මාධ්‍ය වැඩසටහන, සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ලබාගත් වාහන, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සභාපතිතුමාට ජගුවර් කාර් රථයක් මිළදී ගැනීම, දේශපාලන කටයුතුවලට නිළධාරීන් සම්බන්ධ කරගැනීම පිලිබදව ගත් ක්‍රියාමාර්ග, අධීක්ෂණ මන්ත්‍රි ගාල්ල ප්‍රදේශයේ කාර්යාංශ ශාඛාවක් ආරම්භ කිරීම, සම්බන්ධයෙන් පියවර ගන්නවා. ප්‍රධාන වශයෙන් මිලියන 138ක් පසුගිය වසර තුළ මෙම කරුණු 8 මගින් පමණක් රජයට පාඩු වෙලා තිබෙනවා. මම රජයේ මුදල් නැවත රජයට ලබාගැනීම සඳහා මේ වාර්තාව ලේකම්වරයාට ලබාදීලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. අරුමෛනායගම්, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, අධ්‍යක්ෂ නිමල් තිබ්බොටුමුනුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(news.lk)