Thursday, November 13, 2025
Follow Us
හිටපු CID අධ්‍යක්ෂ ශානිට සිතාසි

මේ වන විට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

මේ අනුව ලබන 28 වන දින ශානී අබේසේකර මහතාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.

නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සුළු නිලධාරියෙකු වූ ගාමිණි සෙනෙවිරත්න සහ ප්‍රධාන සුළු නිලධාරි කේ. පි. චමින්ද යන අය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව ඔහුට එම කැඳවීම සිදුකර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේෂ සහගතව කටයුතු කරමින් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බව ගාමිණි සෙනෙවිරත්න සහ කේ.පී චමින්ද යන අය කොමිසමට පැමිණිලි කර තිබේ.

අදාළ පැමිණිල්ල සලකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ලබන 28 වන දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

මේ අතර කොමිසමට කළ පැමිණිලි කිහිපයකට අදාළව ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු ඊයේ (21) දිනයේත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිට තිබේ.

(Aruna)