Thursday, November 13, 2025
Follow Us
පරිසරයට හානි කරන අය අත්අඩංගුවට ගන්න අපිටත් බලය දෙන්න – මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලයි

පරිසරයට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ටද බලතල ලබා දියයුතු ‍බව එම අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් මහා පරිමාණ ලෙස සිදුවන පරිසර හානි සම්බන්ධයෙන් වාර්තා වන නමුත්, ඊට අදාලව නීතිමය පියවර ගැනීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැක.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කරන ලන්ච් ෂීට් තහනම් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. පරිසර හිතකාමී ලන්ච් ෂීට් තහනම් කිරීමට සූදානම් වන බවට පොලිතීන් නිෂ්පාදකයන්ගේ සංගමය එල්ල කරන චෝදනා අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් පරිසර හිතකාමී නොවන ලන්ච් ෂීට් ඇතුළු පොලිතීන් නිෂ්පාදන තහනම් වුවද තවදුරටත් එවැනි නිෂ්පාදන අලෙවි වන බවද සභාපතිවරයා පවසනවා. එවැනි නිෂ්පාදන අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙයි.

(Lanka Leads)