Thursday, July 17, 2025
Follow Us
සිංහරාජය හරහා කපන පාර ගැන යුනෙස්කෝවටත් පැමිණිල්ලක්

සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කරමින් ලංකාගම සිට කැකුණඇල්ල දක්වා සිදුකරන මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පරිසර සංවිධානය විසින් යුනෙස්කෝ සංවිධානය වෙත පැමිණිලි කර තිබේ.

1998 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජ වනාත්තරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. එසේ තිබියදී 2013 වසරේ නෙළුව ලංකාගම මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර තිබූ අතර පසුව යුනෙස්කෝ සංවිධානය මැදිහත්ව එහි ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට පියවර ගෙන ඇත.

නැවතත් 2020 අගෝස්තු 10 වැනිදා මෙම මාර්ග ව්‍යාපෘතිය ආරම්භකර ඇති අතර ඒ පිළිබඳව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත 2020. 08. 12 වැනිදා පැමිණිලි කිරීමෙන් පසු අදාළ මාර්ග ව්‍යාපෘතිය පරිසරයට හානි වන අන්දමින් ඉදි නොකරන ලෙස වනජීවී හා වන සම්පත් ඇමතිවරයාට උපදෙස් දී තිබේ.

මෙම මාර්ගයේ සංවේදී පරිසර කොටස් කීලෝ මීටර් 1.1ක් දුර ප‍්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක්කර නොමැති බවත් ඉදිරියේ එවැනි ඉදිකිරීමක් නොකරන බවත් කීලෝ මීටර් 18 ක් පමණ දිග වන මෙම මාර්ගය ඉදි කරනු ලබන්නේ ඒ ඒ ප‍්‍රදේශවල ගම්වාසින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවත් මහා මාර්ග ආමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබිලිව්. ආර්. පේ‍්‍රමසිරි මහතා ඉකුත් 18 වැනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ගිං ගඟ රක්ෂිතයත් සිංහරාජ ලෝක වැසි වනාන්තරයත් මැදින් ඇති නෙළුව දෙණියාය මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ වන රක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ලිඛිත අවසරයක් හෝ නිර්දේශයක් ලබා දී නොමැති අතර නෙළුව ප‍්‍රදේශීය ලේකම් හා ප‍්‍රාදේශීය සභාපතිවරයා හෝ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මාධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබාදී නැති බව ද සඳහන් වෙයි.

නෙළුව සිට ලංකාගම හරහා දෙණියාය මාර්ගය සකස් කිරීමේ කටයුතු ඉටු කරනු ලබන්නේ අඩි 12 – 20ත් අතර පළලකින් බව ද මාර්ගයේ වම්පස දැඩි බෑවුමේ අංශක 90 තබා අනාරක්ෂිත හා නාය යෑම් දැඩි අවදානමක් ඇති වන ආකාරයේ ඉවුරු තබා ඇති බව ද වම් පසින් කපන ගස් පාරේ දකුණු පස ගිං ගඟ දෙසට දමා ඇති බව ද මෙම පස් වැසි දිනවල සේදී ගිං ගඟට එකතු වන බව ද වැසි වසාන්තර සුරකින්නෝ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි.

දෙණියාය පිටදෙණිය දෙසින් මාර්ගය කපා ගෙන ලංකාගම දෙසට පැමිණෙයි. මේ නිසා අවට පරිසර පද්ධතියේ කුඩා ජල මාර්ග ඇහැරී ඇත. වැසි දිනවල මාර්ගය මඩවලින් පිරී පවතියි. ලංකාවේ සුන්දරම ගංගා, දිය ඇලි හා ආවේණික ජීව සත්ත්ව ප‍්‍රජාවගේ තෝතැන්නක් වන ලෝක උරුම සිංහරාජ වනාන්තරය කිලෝ මීටර් එකහමාරක් මැදින් කොන්ක‍්‍රීට් කිරීමට ද යන බව පරිසර සංවිධාන පවසයි.

ආදාළ මාර්ග ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ශ‍්‍රී ලංකාවේ පාරිසරික නීති මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම එකඟතාවයන් ද බිඳ හෙලමින් බව පරිසරවේදීහු පවසති.

(Lanka Leads)