Thursday, July 17, 2025
Follow Us
පෞද්ගලික සරසවිවලින් උපාධි ලැබූ දස දහසකටත් රජයේ රැකියා

තවත් උපාධිධාරීන් දසදහසකට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති වත්මන් ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් රැස්වීමේ දී මෙලෙස අනුමැතිය හිමි වී ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ය.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනට අයැදුම් කර එහෙත් ප්‍රතික්ෂේප වී ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන සිටින පිරිසෙන් මෙම දසදහස තෝරා ගන්නා බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි පැවසීය. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබා ඇති උපාධි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නේ ද යන්න තහවුරු කර ගැනීමට නොහැකි වූ අයැදුම්කරුවන්ගේ ලේඛනයක් වෙනම සකස් කර ඇති බවද ලේකම්වරයා කීවේය.

එම ලේඛනයේ සිටින උපාධිධාරීන්ට යළි අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබේ.

මෙම රැකියා වැඩසටහනට උපාධිධාරින් අනූඑක් දහසක් පමණ අයැදුම් කර සිටි අතර ඉන් පනස් එක් දහසක් පමණ මූලික වටයේ දී සුදුසුකම් ලැබූහ.

(Aruna)