Monday, September 07, 2026
Follow Us
මෙරට ඉදිකළ දෙවෙනි මෙට්‍රෝ ඩිපෝව කඩවතට මෙහෙයුම් කටයුතු ඇරඹේ
මෙරට නාගරික ප්රවාහන ක්ෂේත්රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පළාත කේන්ද්ර කරගනිමින් ආරම්භ කළ මෙට්රො නව බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක කෙරේ.
එම පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉදිකරන ලද කඩවත මෙට්රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (07) සිදුකෙරිණ.
ඒ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක අමාත්යවරයා‌ගේ ප්රධානත්වයෙන්, ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙනි.
මෙම දෙවන ඩිපෝ අංගනය ගම්පහ දිස්ත්රික්කයේ, මහර මැතිවරණ කොට්ඨාශයේ, කඩවත - ගණේමුල්ල ප්රධාන මාර්ගය ආසන්නයේ පිහිටි ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවට ආසන්නව ස්ථාපනය කර ඇත.
මෙට්රො බස් ව්යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04 ක් ඉදිකිරීමට ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.
ඒ යටතේ තලංගම, කඩවත, ඒකල සහ රත්මලාන ප්රදේශ කේන්ද්ර කරගනිමින් මෙම පළමු ඩිපෝ ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ.
මෙට්රො බස් රථ සේවාවේ ධාවන මාර්ග අංක 01 යටතේ මාකුඹුර සිට මහරගම හරහා කඩවත දක්වා ප්රවාහන සේවා ක්රියාත්මක කෙරේ.
මෙම මාර්ගයේ නව මෙට්රො බස් රථ 15 ක් යොදා ජනතාවට අවශ්ය සුවපහසු ප්රවාහන පහසුකම් ලබාදීම විධිමත් කිරීමට ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම, මෙම නව ඩිපෝ මධ්යස්ථාන පිහිටුවීමෙන් කටයුතු කරයි.
ඩිපෝ අංගන ඉදිකිරීමේ දිගුකාලීන සැලසුමට අමතරව බස් රථ නැවතුම්, ඒකාබද්ධ ගෙවීම් පද්ධති, ඩිපෝ පහසුකම්, රථගාල් ඇතුළු අනෙකුත් ප්රවාහන සේවා සමග සම්බන්ධතාව වැඩිදියුණු කිරීම ද සිදු‌කෙරේ.
මෙම නව මෙට්රො බස් ව්යාපෘතිය පොදු ප්රවාහන සේවා නවීකරණය කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ප්රධානතම අංගයක් වන අතර, 2025 අය-වැය මගින් නවීන හා තාක්ෂණික පහසුකම් සහිත බස්රථ හඳුන්වාදීම සහ ලංකා මෙට්රො ට්රාන්සිට් (පුද්.) සමාගම හරහා ඩිජිටල් වේදිකාවක් මත සේවා ක්රියාත්මක කිරීම ද ආරම්භ විය. එමෙන් ම 2026 වසරට රුපියල් මිලියන 800 ක මූල්ය ප්රතිපාදන ද 2027 වසරට රුපියල් මිලියන 267.5 ක හිමිකම් ප්රාග්ධනයක් ද මෙට්රො මෙහෙයුම් ක්රියාවලිය වෙනුවෙන් රජය වෙන්කර ඇත.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්යවරයා :
මෙට්රො බස් සේවාව මේ මාසය තුලදී බස් 122 ක් දක්වා වර්ධනය වෙනවා. එමගින් නාගරික ජනතාවට කාර්යක්ෂම ප්රවාහන සේවයක් ලබාදීමට හැකිවෙනවා. මෙට්රො සේවයට තවත් බස් 50 ක් මිලදී ගන්න කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර තියෙනවා. මේ වසර අවසන් වනවිට හෝ ලබන වසරේ මුල හෝ මෙට්රො සේවාව බස් රථ 172 ක් දක්වා වර්ධනය කරනවා. මෙම සේවාව බස්නාහිර පලාතෙන් ඔබ්බට ක්රියාත්මක කරමින් ගාල්ල, මහනුවර සහ යාපනය ප්රදේශවලටත් ව්යාප්ත කරනවා.
මෙට්රො ආයතනය සමග ගිවිසුම්ගතව බස් සේවාව ක්රියාත්මක කිරීමට පෞද්ගලික අංශයටත් ඉදිරියේදී අවස්ථාව ලබාදෙනවා. පොදු ප්රවාහනයේ විශාල කොටසක් ඉටුකරන ලංගම ගොඩනගනවා. ලංගම තමයි පණ, ලංකාවේ පොදු ප්රවාහනයේ. ලංගම ලබාදෙන සේවය වෙන කාටවත් කරන්නත් බෑ. කරන්නෙත් නෑ. මේ වසර අග වෙනකොට ලංගමට අලුතින් AC බස් 600 ක් ආනයනය කරන්න කටයුතු කරනවා. ඊට අමතරව ලංගම සල්ලිවලින් තවත් බස් රථ 200 ක් ගේනවා’.