"සහකම්පනයෙන් යුතු වෛද්යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනයට එක් කළ යුතුයි"
- අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
සහකම්පනයෙන් යුතු වෛද්යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනයට එක් කළ යුතු බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කර සිටියාය.
ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනය පිළිබඳ ජාතික ප්රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පසුගියදා(26) ඉසුරුපාය, අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේ දී රැස් වූ අවස්ථාවේ අග්රාමාත්යවරිය මේ බව කියා සිටියා ය.
ජාතික සෞඛ්ය අවශ්යතා සපුරාලීම සඳහා වෛද්ය අධ්යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනය පිළිබඳ පුළුල් ජාතික ප්රතිපත්තියක් සම්පාදනය කිරීම මෙම කමිටුව මගින් සිදු කිරීමට අපේක්ෂිතය.
එහි දී ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනය තුළ, සංවර්ධනය විය යුතු ක්ෂේත්ර හඳුනාගැනීම, වත්මන් ගැටලු සඳහා කෙටිකාලීන හා තිරසාර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා සිදු විය.
එමෙන්ම වෛද්ය අධ්යාපනය ඉතාම සංවේදී ක්ෂේත්රයක් වන බැවින්, මෙම කමිටුව මගින් ලබාදෙන නිර්දේශ ශ්රී ලංකාවේ අනාගතයට සහ ජනතාවගේ සුබසිද්ධියට සෘජුවම බලපාන බව අග්රාමාත්යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.
ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනය නගාසිටුවීමට අදාළ විෂයමාලා ප්රතිසංස්කරණ, ඇගයීම් ක්රියාවලිය, සායනික පුහුණුව, වෛද්ය පර්යේෂණ ක්ෂේත්රය, වෛද්ය පීඨයන්හි අධ්යයන, අනධ්යයන කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම්වල අවශ්යතාව වැනි සාධක සංවර්ධනයට අදාළ ප්රතිපත්ති සම්පාදනයට මෙම කමිටුව මගින් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අග්රාමාත්යවරිය පවසා සිටියා ය.
වෛද්ය අධ්යාපන ක්ෂේත්රය තුළ ඇති විවිධ පාඨමාලා සම්බන්ධව වෛද්ය අධ්යාපනය හැදෑරීමට තෝරාගන්නා සිසුන්ට පූර්ව දැනුම්වත් කිරීමේ ක්රමවේදයක් හඳුන්වා දීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.
එසේම නව ලෝකයට ගැළපෙන මනා හික්මීමකින් හා සංයමයකින් යුත් වෛද්යවරයා බිහිකිරීමට අවශ්ය වන සාමාන්ය අධ්යාපන සහ උසස් අධ්යාපන ප්රතිසංස්කරණ හඳුන්වාදීම ද මෙම කමිටුව හරහා සිදු කළ යුතු බව අග්රාමාත්යවරිය අවධාරණය කර සිටියා ය.
මේ සඳහා අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න, විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ඇතුළු කමිටු සමාජික මහත්ම මහත්මීහූ සහභාගි වූහ.