විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධන ප්‍රතිසංස්කරණය පිළිබඳ මධ්‍යස්ථානයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ පුරවැසි විද්‍යා (Citizen Science) සංකල්පය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ පියවරක් ලෙස "පුරවැසි විද්‍යා ඒකකය" (Citizen Science Cell) පිහිටුවීමේ සමාරම්භක උත්සවය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (17) තලවතුගොඩ, Grand Monarch හෝටලයේ දී පැවැත්විණ.
විද්‍යාව සහ සමාජය අතර සබඳතාව ශක්තිමත් කිරීමේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන පුරවැසි විද්‍යා කේන්ද්‍රය සාමාන්‍ය ජනතාව තුළ විද්‍යාව කෙරෙහි උනන්දුව හා කුතුහලය ඇති කිරීමටත්, නවෝත්පාදනය සහ තිරසර සංවර්ධනය සඳහා පොදු වගකීම වර්ධනය කිරීමටත් ඉවහල් වනු ඇත. විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය මුලික කොට ගෙන " පුරවැසි විද්‍යා ඒකකය " ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් පිරි රටක පුරවැසි විද්‍යා ඒකකය පිහිටුවීම ඉතා වැදගත් පියවරක් වන අතර එය ස්ථාපිත කිරීමෙන් ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විද්‍යාත්මක දත්ත රැස් කිරීමේ හැකියාව වර්ධනය වේ. මෙය පරිසර සංරක්ෂණය, ජෛව විවිධත්ව නිරීක්ෂණය, ජල හා වායු ගුණාත්මකභාවය පරික්ෂා කිරීම. වායුගෝලීය වෙනස්වීම (Climate Change) නිරීක්ෂණය වැනි ක්ෂේත්‍ර ගණනාවක දත්ත රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමට මහජන සහභාගිත්වය ලබා ගැනීමට ඉවහල් වේ.
පාසල් සිසුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ගුරුවරුන්, ගොවින් සහ පරිසර ආරක්ෂකයන් වැනි විවිධ කණ්ඩායම් මේ සඳහා සම්බන්ධ කර ගත හැකිය. මෙවැනි කේන්ද්‍රයක් සරහා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් (ජංගම දුරකථන යෙදුම්, අන්තර්ජාල වේදිකා) දත්ත එකතු කිරිම, සත්‍යාපනය කිරීම සහ විද්‍යාඥයින් සමඟ බෙදා ගැනීම පහසු වේ. එමඟින් ජනතාව අතර විද්‍යාත්මක දැනුම, වගකීම සහ පරිසර සුරක්ෂිතතාව පිළිබඳ අවබෝධය වැඩි කරයි. මෙය තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීමටද දායක වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය,
“විද්‍යාව හා සමාජය අතර සම්බන්ධතාව ශක්තිමත් කරන පුරවැසි විද්‍යාව මඟින් විද්‍යාත්මක සොයා ගැනීම්, පාරිසරික නිරීක්ෂණ හා සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට ප්‍රජාව බලගන්වනවා. මෙය විද්‍යාව පිළිබඳ නව ආකාරයට සිතීමක්. දැනුම සහ නව සොයාගැනීම් පර්යේෂණාගාරවලට සහ විශ්ව විද්‍යාලවලට සීමා නොවී, සාමාන්‍ය පුරවැසියන්ගේ කුතුහලය, නිරීක්ෂණ සහ සහභාගීත්වය තුලින් ඒවා තවදුරටත් ශක්තිමත් කළ හැකියි.”
“පුරවැසි විද්‍යා ඒකකය " පර්යේෂකයන්ට, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ පුරවැසියන්ට එක්ව කටයුතු කිරීමට වේදිකාවක් වෙනවා. එමගින් ජාතික සංවර්ධනයට සහ ගෝලීය විද්‍යාත්මක අවබෝධයට, දායක වන වටිනා දත්ත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මුලික වශයෙන් දේශගුණික විපර්යාස ඇතිවීම කෙරෙහිත්, සීමා රහිතව ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිහරණය නිසා ප්‍රජාවට ඇතිවන සෞඛ්‍යමය හා පාරිසරික තර්ජන පිළිබදවත් මෙම විපත් වලින් මිදිය හැක්කේ කෙසේද යන්න ආදී ක්ෂේත්රයන් පිළිබඳව, ජනතාව වෙත මුලික අවබෝධය සහ දැනුම ප්‍රචලිත කරනු ඇත.”
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විෂය පථය යටතේ, රට තුළ මූළික වශයෙන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා තත්වයන් අවම කර ගැනීම සඳහා තාක්ෂණික විසදුම් ලබා දීමට අවශ්‍ය දත්ත එක් රැස් කර ගැනීම විදාතා සම්පත් මධ්‍යස්ථාන මූලික කොට ගෙන මේ වන විට සිදු කෙරේ. ඒ සමගම මෙම "පුරවැසි විද්‍යා ඒකකය " (Citizen Science Cell) සඳහා විද්‍යාත්මක දත්ත රැස් කිරීම ඇතුළු සෙසු කාර්යයන් ද විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය "පාරිසරික අභියෝගයන් ආමන්ත්‍රණයේ දී පුරවැසි විද්‍යාවේ භූමිකාව” (Role of Citizen Science in Addressing Enviromental Challenges) තේමා කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදේනි නවගමුව මහතා විසින් සිදුකළ අතර, දෙස් විදෙස් විද්වතුන් විසින් කාරක අධ්‍යයනයන්(Case Studies) ඔස්සේ ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදු කළහ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ලේකම් මොහමඩ් නවවි මහතා, මෙම වැඩසටහනට මුල්‍ය දායකත්වය ලබා දෙන ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තිරසර සංවර්ධන ප්‍රතිසංස්කරණය පිළිබඳ මධ්‍යස්ථානයේ විශේෂඥ ආචාර්ය රන්දිකා ජයසිංහ ඇතුළු ආයතන නියෝජිතයන්, විද්‍යා හා තාක්ෂණ, පරිසර හා අධ්‍යාපන යන අමාත්‍යාංශ නිළධාරීන්, තාක්ෂණික සහයෝගය ලබාදෙන විශ්ව විද්‍යාල නියෝජිතන්, විදතා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.