Tuesday, March 17, 2026
Follow Us
‘QR පද්ධතියේ තාක්ෂණික ගැටලු අද උදෑසන වන විට විසඳෙනවා’ -නි. ඇමැති එරංග වීරරත්න

ඉන්ධන නිකුත් කිරීමේ QR කේත ක්‍රමවේදය තුළ දැනට පවතින තාක්ෂණික බාධාවන් අද(17) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම මඟහැරී යනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

පවතින ගෝලීය දේශපාලනික අර්බුද හමුවේ මෙරට ඉන්ධන සංචිත සුරක්ෂිත කරගැනීම සහ ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ලෝක වෙළඳපොළේ ඇති වී තිබෙන අවිනිශ්චිතතාවයන් හමුවේ රටක් ලෙස ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා QR කේතය හරහා ඉන්ධන ලබාදීමේ වැඩසටහන සති අන්තයක සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, එලෙස සති අන්තයක් තෝරාගත්තේ සතියේ දිනවල ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට බවත් අමාත්‍යවරයා පැවසීය. මීට පෙර පද්ධතියේ පැවති ගැටලු වන වාහන අයිතිය වෙනස් වීම සහ ජංගම දුරකථන අංක පිළිබඳ ගැටලුවලට පිළියම් යොදා ඇති අතර, පද්ධතියෙන් වාහන ඉවත් කිරීමේ (Deregister) පහසුකම ද දැන් වඩාත් විධිමත් කර ඇත. වාහන අලෙවි කර ඇති පුද්ගලයන්ට සිය ගිණුමෙන් එම වාහන ඉවත් කරන ලෙස කාරුණික ඉල්ලීමක් කළ අමාත්‍යවරයා, එවිට අලුතින් මිලදී ගත් පුද්ගලයාට එය ලියාපදිංචි කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් සේවකයන් සහ හිමිකරුවන් පුහුණු කිරීමේ කටයුතු අද දිනය ඇතුළත අවසන් කිරීමට නියමිතය. රාජ්‍ය සහ පුද්ගලික අංශයේ තාක්ෂණික කණ්ඩායම් දිවා රාත්‍රී වෙහෙස මහන්සි වී ඉතා කෙටි කලකින් මෙම පද්ධතිය යාවත්කාලීන කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ආරම්භක අවස්ථාවේදී ඇති විය හැකි සුළු තාක්ෂණික ගැටලු මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද තහවුරු කළේය.

ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගනිමින් පෝලිම් නිර්මාණය නොකරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.