Wednesday, March 18, 2026
Follow Us
විදුලිබල ඇමැති පවතින තෙල් තොග ගැන පැහැදිලි කරයි

සාමාන්‍ය පරි­භෝ­ජ­නය යටතේ රටේ දැනට පව­තින තෙල් තොග සහ ඇණ­වුම් කර තිබෙන ප්‍රමා­ණ­යන් පිළි­බඳ බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) විශේෂ හෙළි­ද­ර­ව්වක් කළේය.

පෙට්‍රල් 92 වර්ගය අප්‍රේල් 23 වෙනිදා දක්වාත්, පෙට්‍රල් 95 වර්ගය මැයි 10 වෙනිදා දක්වාත් ප්‍රමා­ණ­වත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඩීසල් අප්‍රේල් මස 12 වැනිදා දක්වා සහ සුපර් ඩීසල් මැයි මස 10 වැනිදා දක්වාත් ප්‍රමා­ණ­වත් සංචිත මෙරටේ තිබෙන බව ද සඳහන් කළේය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ස්ථාවර නියෝග යටතේ අසන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ඒ මහතා මෙහිදී පැව­සුවේ වෙනත් සැප­යුම් මාර්ග ඔස්සේ තෙල් ලබා ගැනී­මට අදාළ ක්‍රියා­මාර්ග ගනි­මින් සිටින බවයි.

දැනට ලියා­ප­දිංචි නොමැති සමා­ග­ම්ව­ලින් තෙල් ලබා ගැනී­මට ඇති හැකි­යාව සම්බ­න්ධ­යෙන් සොයා බලන බව ද හදිසි මිල දී ගැනීම් සිදු කිරීම සඳහා කමි­ටු­වක් පත් කර ඇති බව ද ඒ මහතා පැහැදිලි කළේය. 

පව­තින ලෝක තත්ත්ව­යන් ගැන දින­ප­තාම අධ්‍ය­යන කර­මින් සිටින අතර  බොර තෙල් ලබා­ගැ­නී­මට ටෙන්ඩර් කැඳවා ඇති  බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.