පවතින තත්ත්වය හේතුවෙන් සෑම බදාදා දිනක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සැලකිල්ලට ගෙන හෙට (18) පාර්ලිමේන්තුව රැස් නොවීමට අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ගරු කථානායක (වෛද්ය) ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී තිබේ.
ඒ අනුව 2026 මාර්තු 19 වැනි බ්රහස්පතින්දා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 2.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට මෙහි දී තීරණය වී ඇත.
එසේම, ප.ව. 2.00 - ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් ගෙනෙනු ලබන “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
2026 මාර්තු 20 වැනි සිකුරාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග
22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පක්ෂය විසින් 2026.03.19 දින ඉදිරිපත් කරන ලද “ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව දෙවැනි දිනටත් විවාදයට ගැනීමට නියමිතව තිබේ.