ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්තාපන ක්‍රියාවලිය තුළ සමාජ සංවාදයේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) මෙරට අධ්‍යක්ෂවරිය අතර සාකච්ඡාවක් පසුගියදා (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
එහිදී ILO මෙරට අධ්යක්ෂ ජෝනි සිම්ප්සන් මහත්මිය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාව දැනුවත් කරමින් රාජ්‍ය අංශය තුළ සේවා ස්ථාන සංසද 63ක් පිහිටුවීම පිළිබඳ කරුණු දැක් වුවා ය.
ඒ මඟින් සේවක-කළමනාකාරීත්ව සම්බන්ධතා ශක්තිමත් වන අතර කාර්මික සාමය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් කරගැනීම සහ පොදු සේවා සැපයීම ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අවධාරණය කරන ලදි.
රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති වලින් 84%ක් ආවරණය වන, දත්ත මත පදනම් වූ “කාර්මික ආරවුල් පිළිබඳ ජාතික දත්ත සමුදාය” වලාකුළු මත පදනම් වූ (cloud-based) වේදිකාවක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍යංශය සහ ජනසංඛ්යාන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරිණි.
තවද ගම්පහ සහ බදුල්ල දිස්ත්‍රික්වල කාන්තාවන්, තරුණයින් සහ අවිධිමත් ආර්ථිකයේ නියුක්තිකයන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක කරගැනීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වන අතර මේ සඳහා සිම්ප්සන් මහත්මිය අමාත්‍යංශයේ සහයෝගය අගය කළ අතර මේ යාන්ත්‍රණය සඳහා නීතිමය පදනමක් සකස් කරමින් දිගුකාලන තිරිසර භාවය සහතික කරන ලෙස ඉල්ලා සිටියාය.
අමාත්‍යාංශයේ අඛණ්ඩ සහයෝගය පිළිබඳ සිය කෘතවේදීත්වය පළකළ සිම්සන් මහත්මිය රාජ්‍ය අංශයේ ආංශික සහ ජාතික මට්ටමේ සංසද පිහිටුවීම සඳහා අමාත්‍යංශයේ නායකත්ව ඉල්ලා සිටියාය.
තවද ක්‍රියාත්මක කරනු ලබන මැදිහත්වීම්වල වේගය පවත්වා ගැනීමට සහ ඒවායේ දිගු කාලීන තිරසරභාවය සහතික කිරීම සඳහා විකල්ප ආරවුල් වැළැක්වීමේ සහ විසඳීමේ යාන්ත්‍රණයන් නීතිමය වශයෙන් ස්ථාපනය කිරීමේ (legal anchoring) අවශ්‍යතාව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
“සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය” නම් වූ ශ්‍රී ලංකා රජයේ සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජාතික සහ ප්‍රාදේශීය මට්ටමෙන් සමාජ සංවාදය සහ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයන් හරහා සාමකාමී, සියලු දෙනා ඇතුළත් කරගන්නා ලද (inclusive) සහ සාධාරණ විසඳුම් ප්‍රවර්ධනය කිරීමයි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), UNESCO සහ UNFPA හරහා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා SDG අරමුදල මගින් මූල්‍ය ප්‍රතිපාදන සැපයෙන අතර කැනඩාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාමය ගොඩනැගීමේ අරමුදල හා ඒකාබද්ධ SDG අරමුදල මගින් සහාය දක්වනු ලැබේ.
මෙම වැඩසටහන පිළිබඳව ප්‍රසාදය පළ කළ අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ඒ සඳහා රජයේ මැදිහත් වීම සහ ඉදිරි උපාය මාර්ග සැපයීම සඳහා එකඟතාවය පළ කරන ලද අතර මේ සඳහා සම්බන්ධ විය යුතු අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු ආකාර පිළිබඳ සාකච්ඡාවක් ඉතා කඩිනමින් පැවැත්වීමට තීරණය කරන ලදි.
මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා සහ ILO ව්‍යාපෘති කළමනාකාර ප්රමෝදිනී වීරසේකර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.