Thursday, February 19, 2026
Follow Us
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වසර නවයකට පසු පැවැත්වෙන උපසම්පදා විනයකර්මයට රාජ්‍ය අනුග්‍රහය
ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය වසර නවයකට පසු මෙවර ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහානාහිමිපාණක් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස උපසම්පදා භික්ෂූන් වහන්සේගේ යුගයේ අවශ්යතාව පිළිගෙන ඊට රාජ්ය අනුගහය දැක්වීම පිළිබඳව රජයට ප්රශංසා කරන බව ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති පූජ්ය බලපිටියේ සිරිසීවලී නාහිමිපාණෝ පවසති.

 

නාහිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළේ මහා විහාරවංශික ශ්රී ලංකා අමරපුර මහා නිකායේ රාජ්ය උපසම්පදා මහෝත්සවය පැවැත්වීම සම්බන්ධව මූලික සාකච්ඡාවක් ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්ය බළපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (19) පෙරවරුවේ පැවැත්වූ අවස්ථාවේදීය.
 
ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්මය 2026 ජූලි 09 වැනිදා සිට 25 වැනිදා දක්වා 400කට අධික සාමණේර හිමිපාණන් වහන්සේගේ සහභාගිත්වයෙන් කළුතර බෝධීන් වහන්සේ අභියස පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී සිදුකිරීමට නියමිතය.
 
ඒ හා සමගාමීව රාජ්ය උපසම්පදා මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජුලි 09 වනදා සවස 3.00 ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ. මෙම උපසම්පදා විනයකර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසුව වීම විශේෂත්වයකි.
 
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මස 01 වනදා ශ්රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී නාහිමිපාණන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.
 
ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීම මත රාජ්ය ආයතනවල, ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ, පෞද්ගලික ආයතන ගණනාවකගේ සහාය ඇතිව අමරපුර මහා නිකායේ උපසම්පදා විනයකර්ම මහෝත්සවය පැවැත්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
 
මෙම අවස්ථාවට ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ නියෝජ්ය ලේඛකාධිකාරි පූජ්ය අහංගම මෛත්රීමූර්ති නාහිමියෝ, සහකාර ලේඛකාධිකාරි පූජ්ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියෝ, සහකාර ලේකම් පූජ්ය නිදහස්ගම කල්යාණසිරි හිමියෝ, පූජ්ය මොරහැල සුගතජෝති හිමියෝ, පූජ්ය අවිස්සාවේල්ලේ ධම්මානන්ද හිමියෝ, උඩරට සාමග්රී සංඝ සභාවේ සම ලේඛකාධිකාරි පූජ්ය මහමෙව්නාවේ මංගල හිමියෝ ප්රමුඛ, බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය, අමරපුර මහා සංඝ සභාවේ සභාපති අජිත් ද සොයිසා, භාණ්ඩාගාරික ධම්මික සමරවික්රම, යන මහත්වරුද, රාජ්ය නිලධාරීහුද, ත්රිවිධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීහුද, පෞද්ගලික ආයතන නියෝජිනය කරමින් නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.