Saturday, June 29, 2024
Follow Us
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඓතිහාසික ජයක් අභියස

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවන පන්දුවාර 20 තරගය අද (26 වැනිදා) පෙරවරු 10ට හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග 3කින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ ජය මේ වන විටත් ශ්‍රී ලංකාව සතු වී තිබෙන බැවින් අද තරගයේ ජයග්‍රහණය හිමි වූවහොත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. පන්දුවාර 20 කාන්තා ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මීට පෙර එකඳු අවස්තාවකදී හෝ දෙරට අතර තරගාවලියක ජය ශ්‍රී ලංකාවට හිමි වී නොමැති හේතුවෙන් මෙම තරගාවලි ජයග්‍රහණය හිමි වූවහොත් මෑත භාගයේ ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණ ගොන්නට මෙයද ඇතුළත් වනු ඇත.

අද තරගයේදීත් පිතිකරණයට වඩා උචිත සහ දඟ පන්දුවට හිතකර තණතීරුවක් හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මේ හේතුවෙන් කාසියේ වාසිය ලබාගන්නා නායිකාව ප්‍රථමයෙන් පන්දු යොමු කිරීමට වැඩි ඉඩක් තිබේ. සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකම මෙම තරගයේදීත් සිය නායිකාවන් වන චමරි අතපත්තු සහ හේලි මැතිව්ස් පිළිබඳව වැඩි බලාපොරොත්තු තබා ගනු ඇත.

අවසන් තරග 10 තුළදී ලකුණු 597ක් සමගින් කඩුලු 17ක් බිඳ හෙළු හේලි මෙන්ම අවසන් තරග 10 තුළ ලකුණු 307ක් සමගින් කඩුලු 12ක් බිඳ හෙළු චමරිද මෙම තරගයේ ප්‍රධානම මාතෘකා වනු ඇත. කෙසේවෙතත් කොදෙව් කණ්ඩායම් සාමාජිකාවන්ට සාපේක්ෂව මෑත භාගයේ ලබාගත් ජයග්‍රහණ සහ දක්ෂතා අතර සිටීම හේතුවෙන් යහපත් මානසික මට්ටමකින් සිටින ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය සහ යොවුන් පිතිකරණ බලඇණිය ශ්‍රී ලංකාවට වැඩි වාසියක් සමීප කර තිබේ.

මෙම තරග ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අති විශිෂ්ට පන්දු රැකීම ඒ ආකාරයෙන්ම පවත්වාගැනීම අතිශයින්ම වැදගත් වනු ඇත. එමෙන්ම පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වූවහොත් ලකුණු 130 ඉක්මවූ සංඛ්‍යාවක් රැස් කරගැනීම තරග ජයග්‍රහණය සඳහා වැදගත් වනු ඇත.

ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම - චමරි අතපත්තු, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, කෞෂිණී නුත්‍යාංගනා, අමා කාංචනා, සුගන්ධිකා කුමාරි, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි

Aruna