Monday, July 01, 2024
Follow Us
නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට
දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්යවශ්ය බවත් නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්යවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්රික්කයේ දහම් පාසැල් ගුරුවරයෙකු ලෙස ගුණ නැණින් පිරිපුන් දැයක් ගොඩ නගන්නට 25 වසරකට වඩා කැප වු සුදුසුකම්ලත් දහම් පාසැල් ගුරුවරුන් 361 දෙනෙකු සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයටකට එක්වෙමිනි.

බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්රධාන සංඝනායක, මාපලගම වර්ධනාරාමාධිපති, පුජ්ය ලේල්වල ජිනවංස නායක ස්වාමීන් වහන්සේ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටවු අතර, ගාල්ල දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ශ්රී ලංකා අමරපුර සම්බුද්ධ වංස මහා නකායේ අති පුජ්ය මහානායක, ආචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් පැවැත් වුහ.
ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි, ගාල්ල සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරළ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණී.
උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්යතුමා මෙසේ සඳහන් කළේය.
අද රාජ්ය සේවය තුළින් හොඳ සේවයක් සිදු නොකරන බවට ඇතැම් අය විවේචනය කරනවා. එහෙත් එම අදහස නිවැරදි නැහැ. කිහිප දෙනෙක් රාජ්ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරනවා. අල්ලස් හා කොමිස් ගැනීම් නතර කිරීමට ශක්තිමත් නව අල්ලස් කොමිසමක් පත් කර තිබෙනවා.
අපරාධවලින්, නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කිරීමට අදාළ පනත් කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පසුගිය මාස කිහිපය තුළ නීති පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට අදාළ පනත් 75 ක් සංශෝධනය කිරීමට කටයුතු කළා. මේ රට ගොඩ නගන්න ශක්තිමත් නීති රාමුවක් අවශ්යයි. අපි එය පසුගිය කාලය තුළ සිදු කළා. ලෝකයේ දියුණු වු සියලු රටවල් සංවර්ධනය වීමට නීතියේ ආධිපත්යය ශක්තිමත් කිරීම මුලික හේතුව වුණා. දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්යවශ්යයි. රටක පාලකයින් රටේ නීතිය නීතියේ ආධිපත්ය ආරක්ෂා කරන්නේ නම් රට දියුණු කිරීමට ජනතාව යොමු වෙනවා. යුක්තිය හා ධර්මය අතර වෙනසක් තිබෙනවා. යුක්තිය අපි ඔප්පු කළ යුතු දෙයක්. ධර්මය යන්නෙන් අදහස් කරන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමයි.
මේ රටේ අධ්යාපන ප්රතිපත්ති නැවතත් කන්නන්ගර ප්රතිපත්ති අනුව සකස් විය යුතුයි. අපේ රටේ අධ්යාපනය කන්නන්ගර මැතිතුමා වහල් භාවෙයන් මුදවා ගත්තා. නමුත් අපේ රටේ අධ්යාපන නැවතත් වහල්භාවයට පත්වෙමින් තිබෙනවා. ඇතැම් අය පාසැල් තමන්ගේ බුදලයක් යැයි කල්පනා කරමින් කටයුතු කරනවා. දහම් පාසැල් මේ රටේ දරුවන් වෙනුවෙන් නිරායාසයෙන් කරනු ලබන සේවයට සමාජයේ නිසි පිළිගැනීමක් සිදු වෙලා නැහැ.