Tuesday, July 15, 2025
Follow Us
පැන ගිය පූසා ගැන ප්‍රශ්නයට පොලිසිය දුන් පිළිතුර

හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ ගෙලේ ගැට ගසා සිටියදී කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ‍්‍රයේදී අල්ලා ගැණුනු බළලා පැන ගොස් තිබෙනවා. මෙම බළලා වැඩිදුර විමර්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දීමට නියමිතව තීබූ අතර පොලිස් නිලධාරීන් එහි පැමිණිම ප‍්‍රමාද වීම හේතුවෙන් එම බළලා පැන ගොස් ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

එම නිලධාරීන් පැමිණෙන තෙක් අදාල බළලා රඳවා තිබුණේ බන්ධනාගාරයේ කාමරයක් තුළයි. මෙම බළලා පැන යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නගෙන් අද (03) පැවති මාධ්‍ය හමුවකදී විමසීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ ඊට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් බවයි.ඒ අත්අඩංගුවට ගත් නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරන බවත් සඳහන් කළා.

බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාර පිවිසුම් දොරටුව ආසන්නයේ දි බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් එම බළලා අල්ලාගෙන තිබුණේ ඉකුත් 01 වැනිදායි. එම බළලාගේ ගෙලෙහි බැඳ තිබූ කුඩා පාර්සලයක තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.

වැලිකඩ බන්ධනාගාරයට පිටතින් තහනම් භාණ්ඩ විසි කරන පුද්ගලයන් කිහිප දෙනෙකු ඉකුත් සති කිහිපය ඇතුළත බොරැල්ල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට විකල්පයක් ලෙස තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන යාම සඳහා මෙලෙස බළලෙකු යොදා ගන්නට ඇති බවට අනුමාන කෙරෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

මේ අතර මත්ද්‍රව්‍ය රැගෙන යාමට යොදා ගත් බව කියන උකුස්සකු ද පසුගියදා අතුරුගිරිය පොලිසිය විසින් සිය භාරයට ගෙන දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට පියවර ගැනුණා.

(Neth)