Wednesday, November 12, 2025
Follow Us
රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කරයි

සංචරණ සීමා පනවා ඇති රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදී කරුණු දැක්වූ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේ රාජාංගණය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින බවයි. ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් සඳහන් කළා. එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවධානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බවයි පෙන්වා දුන්නේ.

මේ අතර, ඊයේ (22) දිනය තුළ නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 22 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,751 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 677 ක් වනවා.

(Neth)