Monday, July 14, 2025
Follow Us
ගංවතුර - නායයාමේ අනතුරු ඇඟවීම් - ඉදිරි පැය 12 තුළ 100mm ක වර්ෂාපතනයක්

රටේ බොහෝ ප්‍රදේශවල මේ වනවිට කාලගුණය අයහපත් වී ඇති අතර අද උදෑසන ආරම්භ වූ අධික වර්ෂාව සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

ගාල්ල, කළුතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට සුළු ගංවතුර තත්වයක් ඇති වී තිබෙන අතර ඉදියේදී එම තත්වය අවදානම් සහගත මට්ටමට පැමිණීමට වැඩි ඉඩක් තිබේ. ඊට හේතුව වන්නේ අධික වර්ෂා සහිත කාලගුණ තත්වය ඉදිරියටද පැවතිය හැකි බවට වාර්තා වීමයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 12 ක කාලය තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් අපේක්ෂා කළහැකි බවයි. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමු යන පළාත්වලට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව පවස්නනේ.

අද පෙරවරු 08 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ දෙහිඕවිට ප්‍රදේශයෙනි. එය මිලිමීටර් 219 ක් වන අතර මීට අමතරව ගාලු දිස්ත්‍රික්කයේ හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 160 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව කොළඹ, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවල නායයාම් සිදුවීමේ වැඩි ඉඩක් පවතින අතර එවැනි අවදානම සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවයි එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මේ අතර පස් කඳු කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා පැමිණ තිබේ. ඉමදූව සහ පින්නදූව අතර කොටසේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුව තාවකාලිකව වසා දැමීමට සිදුවිය.

(LNW)