පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද කැඳවා තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන්ගේ සහභාගීත්වයෙන්.
මෙම සාකච්ඡාව පස්වරු 03:30 ට පමණ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතයි. උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ අතර පාසල් යළි විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ, අධ්‍යාපන අමාත්‍යංශයට ඊයේ ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ ප‍්‍රකාශ කළා. පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය වෙත එම නිර්දේශ ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මාර්තු 13 වනදා සිට වසා දැමුණු පාසැල්, දෙවන වාරය සඳහා ජුනි මස 29 වනදා සිට අදියර 04 ක් යටතේ යළි විවෘත කෙරුණා. ඒ අනුව එහි දෙවන අදියර ලෙස උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් 06 වනදා සිටයි.
එහෙත්, කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ ආසාදිත පොකුර වාර්තා වීම හමුවේ ඉකුත් 13 වනදා සිට 17 වනදා දක්වා පාසල් යළි වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.
(Neth)