Monday, July 14, 2025
Follow Us
ස්වාමීන් වහන්සේලා 45 නමක් ස්වයං නිරෝධායනයට

බඩල්කුඹුර ගල්ලඹ පිරිවෙනේ හාමුදුරුවන් 45 දෙනකු ඇතුළු 72 දෙනෙක් එම පිරිවෙන් පරිශ්‍රයේම ස්වයං නිරෝධායනට ලක් කර ඇති බව ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේගේ ප්‍රධානත්වයෙන් ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබළෙකු සහභාගි වූ ආගමික වැඩසටහනකදී මෙම පිරිවෙනේ කුඩා හිමිනමක් සහ තවත් හිමිනමක් එම සෙබළා සමග මයික්‍රෆෝනය හුවමාරු කර ගැනීම නිසා මෙලෙස ස්වයං නිරෝධායනයට පියවර ගත් බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.පී.ඩී.කේ. අධිකාරී පැවසීය.

එම පින්කමට සහභාගි වූ ගිහි පිරිසක්ද මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

පස්සර, පරගහමංකඩ පදිංචි මෙම යුද හමුදා සෙබළා පස්සර, වැල්ගොල්ලේ තම මහ ගෙදරට ගොස් තිබේ. ස්වයං නිරෝධායනයට ලක් වූ අය අතර එම පවුලේ අයද සිටින බව සඳහන් වේ.

ඔහු පොදු බස් රථයකින් ගොස් මුතියංගණ විහාරස්ථානය වන්දනාමාන කර ඇති බවද රථ වාහන බලපත්‍රයක් ලබා ගැනීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ ඇති බවද හෙළිවී තිබේ. එම තොරතුරු ඔස්සේද විමර්ශන සිදුකරන බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

 

(Lanka Leads)