Sunday, July 13, 2025
Follow Us
කන්දකාඩු කොරෝනා පොකුරේ ආශි‍්‍රතයන් සොයා දිස්ත‍්‍රික්ක 16ක් පීරති

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී තිබෙන කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය සොයමින් දිස්ත‍්‍රික්ක 16 ක පිරික්සීම් සිදු කෙරෙන බව ශ‍්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත‍්‍රික්ක 16 සිටින පුද්ගලයන් 3000 කට අධික පිරිසක් මේ වන විට සැක පිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

කන්දකාඩු ආසාදිත පොකුරට අයත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ පුද්ගලයන් ගමන් කළ ස්ථාන අනුව ඔවුන් සමීපව ඇසුරු කළ අය මෙන්ම එම පිරිස ඇසුරු කළ අය පිළිබඳව ද ලැබෙන තොරතුරු මත සොයා බැලෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මෙවර පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව සකස් කර ඇති සෞඛ්‍ය උපදෙස් අඩංගු මාර්ගෝපදේශන මාලාව මැතිවරණය පැවැත්වීමට පෙර නීතිගත කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ස්ථාවරය යැයි කී එම සංගමයේ ලේකම්වරයා, එසේ නොකර පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීම අසීරු වන බව අවධාරණය කළේය.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පැවති සාකච්ජාවකදී තමා ඇතුළු සංගමයේ නිලධාරීන් ඔවුන්ට දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

(Lanka Leads)