Sunday, July 13, 2025
Follow Us
කන්දකාඩු මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් 30 කට කොරෝනා

අද (12) දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 57ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඉන් රෝගීන් 30 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූ පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් වීම විශේෂත්වයක්.

එම පිරිසට අමතරව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 13 දෙනෙකුද, රාජාංගනයෙන් ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී ඇත. එයට අමතරව හබරාදුව සහ ලංකාපුර ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙක් බැගින් සහ වැලිකන්ද ප්‍රදේශයෙන් ආසාදිතයින් දෙදෙනෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර විදේශ ගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව්දෙනෙකු සහ කුවේට් සිට පැමිණි පුද්ගලයෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2511ක් වන අතර ඉන් 1980 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මේ වන විට රෝගීන් 520 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)