Friday, March 29, 2024
Follow Us
2011 අවසන් මහා තරගය පිළිබඳ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය කිසිදු පාවාදීමක් සිදුකර නොමැති බව සදහන් අවසන් වාර්තාව සම්බන්ධයෙන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ඉල්ලා එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ඒ, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ ඞී එස් රුවන්චන්ද්‍ර විසින්. කී‍‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය විසින් මෙම වාර්තාව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදීමෙන් පසු එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු බවයි කී‍‍්‍රඩා අමාත්‍යංශය පැවසුවේ.

ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන කි‍‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට එවක හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ආන්දෝලනාත්මක ප‍‍්‍රකාශයක් සිදුකළ අතර ඒ පිළිබද පළමුව ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ඔහුගෙන් ප‍‍්‍රකාශයක් ද සටහන් කර ගත්තා.

පසුව එම ඒකකය හමුවට කැඳවූ එවක හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා සහ එම තරගාවලියේදී ශී‍‍්‍ර ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාරගෙන් ද එම ඒකකය පසුව ප‍‍්‍රකාශ ලබාගෙන තිබුණා.

කෙසේවෙතත් පසුව මෙම විමර්ශන අවසන් කිරීමට එම විමර්ශන ඒකකය කටයුතු කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ අවසන් මහ තරගය පාවාදුන් බවට කිසිදු සාක්ෂිකයක් නොමැති බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ මෙම ප‍‍්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සමාජවාදී තරුණ සංගමය ඉකුත්දා කි‍‍්‍රඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබුණා.

(Neth)