Sunday, May 05, 2024
Follow Us
සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන්ට වරෙන්තු

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගී වූ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන්ට එරෙහිව අද (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වරෙන්තු නිකුත් කරන ලදී.

ඒ එම සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

එම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

එම නඩුවේ තුන්වන සහ හතරවන සැකකරුවන් ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට ඇති නමුත් ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බව කියා තිබේ.

(LNW)