Tuesday, March 25, 2025
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියක්

5 වැනි වරටත් සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ  සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (21) පැවැත්විණි.

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

ගෘහස්ථ ක්‍රීඩා ඉසව් 07 ක් යටතේ පැවති තරඟාවලියේ  ස්නූකර් තරග ඉසව්වේ අවසන් තරගය මෙහිදී අගමැතිනිය සහ කථානායක ඉදිරියේදී පැවැත්විණි.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී චානක සහ රෝහණ බණ්ඩාර  යන මහත්වරුන් අතර පැවති මෙම තරගය ජයගත් ඩී.වී චානක මහතාට මෙහිදී ස්නූකර් තරග අංශයේ ශූරතාව හිමිවිය. 

එසේම  මෙහිදී පැවති ප්‍රදර්ශනාත්මක මිශ්‍ර යුගල මේස පන්දු තරගයේ ජය නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ නීතිඥ නිලන්ති කොට්ටහච්චි යන මහත්ම මහත්මීහු හිමි කරගත්හ. මෙහිදී අනෙක් යුගලය ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන වරුණ ලියනගේ සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු තරගයට එක්ව සිටියහ.

තරගාවලියේ දාම්  තරඟ අංශයේ ශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනාගැනීමට සමත් විය. එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  බී. ආරියවංශ මහතා විසින් දිනා ගනු ලැබීය.

මේසපන්දු (පිරිමි) තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී  වරුණ ලියනගේ මහතාට ද අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාට ද හිමි විය.

තරගාවලියේ මේසපන්දු ( කාන්තා) අංශයේ ජය පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය දිනාගත් අතර අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය විසින් දිනා ගන්නා ලදී.

චෙස් තරග අංශයේ ශූරතාව  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා ද  අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් ද දිනා ගන්නා ලදී.

එසේම කැරම් අංශයේ ශූරතාව  දිනා ගැනීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා සමත් විය.  එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාට පූල් තරග අංශයේ ශූරතාව හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක  මහතා විසින් එම අංශයේ අනුශූරතාව දිනා ගන්නා ලදී.

මෙහිදී ජයග්‍රාහක මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට සුබපැතැම් එක්කරමින් ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ අතිශය කාර්යබහුල වකවානුවක මානසික සුවතාව මෙන්ම මන්ත්‍රීවරු අතර සුහදතාව වැඩිකිරීමට  ක්‍රීඩාව ඉවහල් වන බවයි. එසේම මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ට ඇය ස්තූතිය පළ කළාය.

මෙම  ක්‍රීඩා තරඟාවලියේදී තරඟ විනිශ්චය සදහා  පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ තරංග අබේසිංහ සහ සමීර සංජීව යන මහත්වරු දායකත්වය දැක්වූහ.

ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර,  සභානායක අමාත්‍ය බිමල් රත්නායක, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ  යන මහත්ම මහත්මීහු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න,  වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්ම මහත්මීහු  ඇතුළු පිරිසක්ද  එක්ව සිටියහ.