Sunday, June 16, 2024
Follow Us
ආර්ථිකයට වැදගත් කෙටුම්පත් දෙකක් අද පාර්ලිමේන්තුවට

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ඒ අනුව යළි ආර්ථිකය බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” (Economic Transformation law) සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යෑම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

 මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේ ද සඳහන් කළේය. “මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් යෝජනා කරනු ලැබූවක් නොවෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් බව පැවැසිය යුතුයි. පසුගිය සමයේ බිඳවැටුණු ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වය දක්වා ගෙනැවිත් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියට ද රැක ගැනීමට අවශ්‍යයි. ඒ වගේම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ත මට්ටමක පවත්වාගත යුතුව තිබෙනවා. ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර රාජ්‍ය මූල්‍ය මනා ලෙස කළමනාකරණය සඳහා “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ අපට පෙන්වා දුන් කරුණක් වෙනවා.

ඒ වගේම මෙය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේදී ඉතාමත් වැදගත් වන පනත් කෙටුම්පතක් බව ද පැවැසිය යුතුයි. මෙහිදී ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ තවදුරටත් විස්තර කළහොත් එය අප රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් ‍ෙවනවා. 2023 වසරේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවල ආර්ථික සංකෝචනයක් සිදුවුණා. නමුත් හතර වැනි කාර්තුවේ 4.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්කරගනු ලැබුවා. ඒ සමඟ මෙරට පහළම මට්ටම දක්වා ආර්ථික වාසිය ගලාගෙන යෑම ආරම්භ වුණා. ඒ වගේම මෙරට ආර්ථික තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයට ගෝලීය වශයෙන් පැමිණිය හැකි අභියෝග සඳහා මුහුණ දිය හැකි තත්ත්වයට පරිවර්තනය කිරීම, ගෝලීය සහයෝගිතාව මනාව පවත්වාගෙන යෑම සහ වර්ධනය කිරීම අවශ්‍යයි. එපමණක් නොවෙයි, වෙනස් විය යුතු තැන්වලදී වෙනස් වීම වැනි කරුණු ද මෙම පනත් කෙටුම්පතින් ආවරණය වනවා. විශේෂයෙන් ජාත්‍යන්තර වෙළෙඳාම, වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජන විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වනවා.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ෂණය කර ගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන් වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන් අප විසින් ගත් තීන්දු පාර්ලිමේන්තුව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. 2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128%ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට 95%කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යෑමට අවශ්‍යයි. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6%ක්ව පැවැති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13%ට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යෑම අවශ්‍ය වෙනවා. එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. අප උත්සාහ කරන්නේ ණය ගෙවාගත හැකි ණය තිරසාරභාවයෙන් යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමටයි. 2022 වර්ෂයේ 9.4%ක්ව පැවැති ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5%කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා. රට වෙනුවෙන් සපුරාගත යුතු මෙවැනි නිශ්චිත ඉලක්ක සහ රටේ ආර්ථිකයට එල්ල විය හැකි යම් අභියෝග පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වෙනවා.