Wednesday, January 07, 2026
Follow Us
හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසම අධි චෝදනා භාර දෙයි

2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ මෙම අධිචෝදනා භාර දීම සිදු වූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් නඩු විභාගය අවසන් වන තෙක් තහනම් කිරීමට එහිදී නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කළ යුතු බවටත් මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරුවන් වෙත ඇප කොන්දේසි පනවනු ලැබුවා. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමටයි එහිදී නියම කෙරුණේ.

මීට පෙර අධිකරණය මගින් නිකුත් කළ නොතීසියක් මත නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ වන මොහොමඩ් සාකීර් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Neth