Wednesday, September 23, 2026
Follow Us
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත්‍ කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (22) සටහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 09 වැනිදා  පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් වේ.

තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇත.

ඒ අනුව, උක්ත පනත්‍ කෙටුම්පත 2026 අංක  22 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වේ.