Friday, July 04, 2025
Follow Us
ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශය නිසා මට පාරෙ බැහැලා යන්න බෑ - නිමාලි ලියනාරච්චි

ක්‍රීඩා ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වී සිටින බවත්, පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, කාන්තා මීටර් 800 ජාතික ශූරිය නිමාලි ලියනාරච්චි පවසනවා. රටේ මුදල් කාබාසිනියා කරන බවට ජනතාවගෙන් චෝදනා එල්ල වන බවත්, රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනාගත් තමාට නිකරුනේ අපවාද එල්ල වී ඇති බවත් නිමාලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ එක් ක්‍රීඩිකාවක් දිවීමට භාවිතා කරන සපත්තු යුගලය ශ්‍රී ලංකාවේ තබා ටෝකියෝ වෙත ගොස් සිටි බවයි.

නිමාලි ලියනාරච්චි පවසන්නේ මෙම කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. තමාට ඇති එකම පාවහන් යුගලයද රැගෙන ටෝකියෝ බලා පිටත්ව ගිය බවත්, ජපානයේදී අලුත් පාවහන් යුගයක් මිලදී ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වූ බැවින් ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ නිළධාරීන්ගේ සහාය ඉල්ලා සිටින බවත් ඇය පවසනවා. එසේ සහාය ඉල්ලා සිටියේ සපත්තු යුගලයක් සොයා ගැනීමට මිස මුදල් වැය කිරීමට නොවන බවද නිමාලි පවසනවා.

මෙම සිදුවීම ක්‍රීඩා ඇමතිවරයා තේරුම් ගෙන තිබෙන්නේ පාවහන් යුගලය මෙරට තබා ගොස් ජපානයේදී පාවහන් යුගලයක් සොයා ගැනීමට දරන ලද උත්සාහයක් ලෙස යැයිද නිමාලි ලියනාරච්චි පෙන්වා දෙනවා.

ඕනෑම තරගාවලියට සුදුසුකම් ලැබූ වහාම සියල්ලටම කලින් සිදු කරන්නේ පාවහන් යුගලය සූදානම් කර ගැනීම බව පෙන්වා දෙන ඇය පවසන්නේ ධාවන ඉසව්වලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත්ම වැදගත් වන්නේ පාවහන් බවයි. මේ නිසා පාවහන් යුගලය වෙනම බෑගයක දමාගෙන එය අතේ තබාගෙන කටයුතු කරන බවද ඇය පවසනවා.

එසේ තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් බොහෝ දෙනා තමාට චෝදනා එල්ල කරන බවත්, කිසිදු වැරැද්දක් නොකළ තමාට ඒ හරහා බලවත් අසාධාරණයක් සිදුවන බවත් නිමාලි පවසනවා.

මීටර් 800 මූලික වටයේ තරගයේදී විනාඩි 02.10.23 ක කාලයක් වාර්තා කළ ඇයට මූලික වටයෙන්ම සමුගැනීමට සිදු වූ අතර පසුගිය 31 වැනිදා ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

(LNW)