Friday, July 04, 2025
Follow Us
ගෑස් කිරිපිටි පෝලිම සමග ආණ්ඩුව සැරසෙන්නේ ඉන්ධන පෝලිමකටද?

ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වන ගෑස් සහ කිරිපිටිවල බරපතළ හිඟයක් මේ වනවිට රටපුරා මතුව තිබේ. ගෑස් ලබා ගැනීම සඳහා විශාල පෝලිම් මේ වනවිට වෙළඳසැල් ආශ්‍රිතව දැක ගන්නට ලැබෙන අතර කිරිපිටි ලබා ගැනීමට අදාල තත්වයද එභස්මය.

ආණ්ඩුව තමන්ගේ, වසරක ශේෂ පත්‍රය රටට ඉතුරු කොට ඇත්තේ අසාර්ථකත්වය, නොහැකියාව මෙන්ම අනෙක් පැත්තෙන් අමානුෂිකත්වය, දුෂ්ටත්වය සහ අශිෂ්ටත්වයයි.

කොරෝනා ව්‍යසනයෙන් අන්ත පීඩාවට පත්වෙමින් දැඩි දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට ආහාර ටිකක් පිස ගැනීමට අවශ්‍ය ගෑස් පවා මේ වනවිට අහිමිව ඇති අතර කිරිපිටි අතිසුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. දරුවෙකුට ලබාදීමට කිරිපිටි ටිකක් සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

විශේෂයෙන්ම අදාල ගෑස් සමාග පවසන්නේ අලාභ ලබමින් ගෑස් ව්‍යාපාරය කළ නොහැකි බව වන අතර ඔවුනට සහනාධාර ලබාදී අදාල අලාභය ප්‍රතිපූර්ණය කිරීමට ආණ්ඩුවට මුදල් නැත. ආණ්ඩුව මුදල් අහිමිකර ගත්තේ බලයට පත් වූ වහාම අත්තනෝමතික ලෙස ධනවතුන්ට බදු සහන ලබාදීම හරහාය. එයින් රුපියල් බිලියන 600 ක් අහිමි විය.

සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් මේ වනවිට දරාගන්නට නොහැකි තරම් ඉහළ ගොස් ඇති අතර ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත. මිල නියාමනය සම්බන්ධයෙන් වන වගකීම පවා අවභාවිතා වී ඇති අතර පාරිභෝගික භාණ්ඩ මිල හිතූ මනාපයට ඉහළ දමන තත්වයක් හටගෙන ඇත.

මේ වනවිටත් රට පුරා ඉන්ධන සංචිතවල බරපතළ හිඟයක් පවතින අතර තෙල් ආනයනය කිරීමට ඇති බරපතළ ගැටලුව විසඳා නොගතහොත් ඒකාන්ත වශයෙන්ම බරපතළ ඉන්ධන හිගයකටද ලංකාව මුහුණ දෙනු ඇත.

රටේ තත්වය මොහොතින් මොහොත බරපතළ ව්‍යසනකාරී තත්වයක් කරා ඇදෙමින් පවතින අතර මහා අභිෂේකයකින් පසුව පත්කළ නව මුදල් අමාත්‍යවරයා යටතේත් සිදුවන්නේ මෙතෙක් සිදු වූ සුපුරුදු ක්‍රියාපිළිවෙත පමණි. වෙනසකට ඇත්තේ විනාශය වෙනදාටත් වඩා උග්‍රවීමය.

ශ්‍රී ලාංකික වැඩිහිටියකුට සිය වැටුපෙන් සියයට හැටහයක් ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන බව එක්සත් රාජධානියේ 'ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය' (global cost-of-living‍ database) අනාවරණය කර ඇති අතර ආහාර වියදම දරා ගැනීමේ හැකියාව අතින් ලොව දුප්පත්ම රටවල් අතර පස්වැනි ස්ථානයට අපේ රට තල්ලු වී ඇත. මේ අතර කොරෝනා ව්‍යසනයෙහි උච්චස්ථානයට ශ්‍රී ලංකාව ළඟාවෙමින් සිටින අතර ආණ්ඩුව අතින් එහි පාලනය අතිශය සාර්ථක ලෙස ගිලිහී ගොස් තිබේ.

ආණ්ඩුව ක්‍රමානුකූලව සහ ඉතා සාර්ථක ලෙස සිදුකරමින් සිටින එකම කාර්යය වන්නේ මුළුමහත් රටත් එහි ජනතාවත් මහා ව්‍යසනයක දොරටුව වෙත තල්ලු කිරීම පමණි.

රට මුහුණ දී සිටින සිටින වත්මන් බරපතළ තත්වය පිළිබඳව සියලු පක්ෂ එකතු වී සාකච්ඡා කොට කඩිනම් තීන්දුවක් ගැනීම අත්‍යවශ්‍ය වුවත් මේ දක්වා ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් නැත. එයින් ගම්‍ය වන්නේ අන් කිසිවක් නොව ආණ්ඩුවේ පවත්නා හිතුවක්කාරී මනෝභාවය පමණි.

ඔවුන් සෙල්ලම් කරමින් සිටින්නේ මේ රටේ අහිංසක ජනජීවිත සමග බව ඔවුන් මායිම් නොකරන අතර මෙයින් සිදුවන අතිශය කණගාටුදායක ප්‍රතිඵලයට වන්දි ගෙවන්නට වන්නේ රටේ අහිංසක ජනතාවටය.

සජිත් පේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

(LNW)