Saturday, July 05, 2025
Follow Us
ගෝඨාභයව සිංහාසනයේ තිබ්බ ජනතාවම සිංහාසනයෙන් බස්සන දවස ඈතක නැහැ

ආණ්ඩුව දැන් ගමන් කරමින් ඉන්නේ තමන්ව නිර්මාණය කළ ජනතාව අහිමි කරගැනීමේ මඟක බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටින ගුරුවරුන් අතරින් වුවද 70%ක් පමණ විවිධ හේතු මත ඡන්දය දෙන්න ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

එවැනි කණ්ඩායමකට මහමඟ හිරිහැර කරමින් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.

''ගෝඨාභය රාජපක්ෂ මහත්තයව සිංහාසනයේ තිබ්බේ මේ රටේ ජනතාව ලක්ෂ 69ක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මර්දනය කැඳවලා තියෙන්නේ, මේ පීඩාවට පත්කරලා තියෙන්නේ තමන්ව සිංහාසනයේ තබන්න වැඩ කරපු ජනතාව බහුතර ප්‍රමාණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂව සිංහාසනයේ තිබ්බ මේ ජනතාවම නුදුරු අනාගතයේදී සිංහාසනයෙන් බස්සයි කියල. ඒ නිසා මේ ජනතාවගේ උද්ඝෝෂණවලට පිළිතුර තියෙන්නේ මේ කරන මර්දනය තුළ නෙමෙයි.''

සාධාරණව සාමකාමීව උද්ඝෝෂණය කරන අයව මර්දනය කිරීම ආණ්ඩුව වහාම නතර කළ යුතුව ඇති අතර එසේ නොවන්නේ නම් ආණ්ඩුව තවත් සටන් බිමක් හදා ගැනීම සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

(LNW)