Saturday, July 05, 2025
Follow Us
කොවිඩ් පාලනය සඳහා වැයකළ මුදල් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරයි

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා ආණ්ඩුව රුපියල් කෝටි දෙලක්ෂ පන්දහසක් වැයකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. රටේ ජනතාවගේ ජීවිත සියල්ලටම වඩා වැදගත් බවත්, මෙවැනි මුදලක් වැයකර තිබෙන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

කබ්රාල් මහතා මෙම දත්ත ඉදිරිපත් කළේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

වැයකර ඇති මුදල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් එන්නත් මිලදී ගැනීම සඳහා භාවිතා කර ඇති බවත්, හැකිතරම් ඉක්මනින් රටේ ජනතාවට අවශ්‍ය එන්නත් මිලදී ගෙන වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම ආණ්ඩු‍වේ අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. වසංගතය මැඩපැවැත්වීම සඳහා සියලු දෙනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවද කබ්රාල් මහතා පවසනවා.

(LNW)