Saturday, July 05, 2025
Follow Us
හිටපු කතානායකගෙන් වත්මන් කතානායකට ලිපියක් - ජොනීගේ චෝදනාවලට පිළිතුරු දෙයි!

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් දිගින් දිගටම එල්ල කරන චෝදනාවකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම ලිපිය යොමුකර තිබෙන්නේ.

කරු ජයසූරිය මහතා කතානායකවරයා ලෙස කටයුතු කරන සමයේදී ආණ්ඩුවට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට, අත්අඩංගුවට ගැනීමට අවකාශය සලසා දී තිබූ බව අවස්ථා කිහිපයකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණ. අදාල චෝදනාවට පිළිතු ලබාදීමට තමා පාර්ලිමේන්තුවේ නොසිටින බැවින් හා සත්‍ය තත්වය පිළිබඳව පැහැදිලි කළයුතු බැවින් මෙම ලිපිය යොමුකරන බවයි ජයසූරිය මහතා පවසන්නේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ චෝදනාව අසාධාරණ හා ගෙතූ කරුණු මත පදනම් වූ එකක් බවත්, තමා කතානායක පුටුවේ වාඩි වී සිටි කාලය තුළ කිසිදු මන්ත්‍රීවරයෙකු අයුතු ලෙස අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදුන් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා. එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පුටුවලින් පහර දෙද්දී පවා කතානායකවරයා ලෙස තමා මෛත්‍රියෙන් කටයුතු කළ බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා පවසන්නේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන කාලයේදී මුහුණදීමට සිදු වූ ගැටලු පිළිබඳව පවා සොයා බැලූ බවයි.

(LNW)