ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු ප්‍රශ්න ගණනාවකට එරෙහිව මීගමුවේ ධීවර ප්‍රජාව පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (02) එක්විය.
මීගමු සතිපොළ පරිශ්‍රයේදී මෙම විරෝධතාව පැවැත්විණි.
"මේ ප්‍රදේශය ගත්තොත් අපි හැමෝම දන්නවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීම තුළ ඒ විනාශය තුළ බරපතළ පරිසර හානියක් සිද්ධ වුණා. ඒ වගේම මත්ස්‍ය සම්පතට දැවැන්ත හානියක් සිද්ධ වෙලා මේ වනවිට ධීවර ජනතාව ගැටළු රාශියකට ලක්වෙලා. ධීවර රස්සාව කරන ජනතාව කවදාවත් සහනාධාර වලින් යැපුණේ නැහැ. ඒ ඇත්තෝ තමන්ගෙ ධීවර රැකියාව කරගෙන කාටත් බරක් නැතිව ජීවිකාව කරගෙන ගියා. නමුත් අද වෙනකොට තත්වය මොකක්ද ? ධීවරයාට ලබාදෙනවායි කියපු වන්දිය කටවචනයට සීමාවෙලා. කිසිම වන්දියක් දීලා නැහැ.
මේ වනවිට අපට පෙනෙන දේ තමයි ලංකා ආණ්ඩුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හාම්පුතුන්ට යටවෙලා. දැන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සම්බන්ධ රක්ෂණ සමාගම තමයි තීන්දු කරන්නෙ අන්තර්කාලීනව ලබාදෙන වන්දි මුදලත්. දැන් කොහොමද ධීවර ප්‍රජාව රැකියාව කරගන්න බැරුව ජීවත් වෙන්නෙ ? මතක තියාගන්න මේ කතාකරන මොහොතේත් අර එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් තෙල් කාන්දු වෙනවා. එක පැත්තකින් මත්ස්‍ය සම්පත විනාශ වෙනවා, තවත් පැත්තකින් මහා දැවැන්ත පරිසර හානියක් සිද්ධ වෙනවා.
මිත්‍රවරුනි, රටට අවශ්‍ය මානුෂීය ආණ්ඩුවක්. හිතක් පපුවක් ඇති ආණ්ඩුවක්. ජනතාවට වැඩක් කරන්න පුළුවන් ආණ්ඩුවක්. ප්‍රබුද්ධ ආණ්ඩුවක්. ප්‍රශස්ත ජනතා සේවාවක් කරන්න පුළුවන් ආණ්ඩුවක්. අපි හැමෝටම පේනවා සමගි ජන බලවේගයේ කාලය එනවා. දැන් ළඟ ළඟ එනවා. ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් අපේම ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවනකොට දුකට පත්වී සිටින මීගමු බලප්‍රදේශයේ පමණක් නොවෙයි මේ මුළු වැල්ලකරයේම ධීවර ප්‍රජාවගේ අනාගත සුරක්ෂිතභාවය අපි සලසනවා. ඒ වගේම ගොවි ජනතාව, කම්කරු ජනතාව, දුප්පත් ජනතාව, මධ්‍යම පාන්තික ජනතාව, ඒවගේම අද මහපාරට බැහැලා ඉන්න ගුරු පරපුර, අධ්‍යාපනය හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා අසරණ වි සිටින සිසු පරපුර, මේ හැමදෙනාම අපි රැකබලා ගන්නවා. එනිසා තමුන්නාන්සෙලා ජනදුක හඳුනන සමගි ජන බලවේගය කෙරෙහි විශ්වාසය තියන්න" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කළේ.
(LNW)