Friday, April 19, 2024
Follow Us
හිටපු නි. ඇමති සරණ අල්ලස් නඩු 08 කින් නිදහස්!

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා එරෙහිව ගොනුකර තිබූ අල්ලස් නඩු 08 කින් නියෝජ්‍ය අමාත්‍යවරයා නිදහස් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අල්ලස් කොමිසම විසින් පවරා තිබූ මෙම නඩු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ කැඳවා තිබිණි.

මෙම නඩු කැඳවා තිබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා ප්‍රකාශ කළේ අදාල නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත විධානය ලබාගෙන නොමැති බවයි. මේ නිසා මෙම නඩු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතිඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩු පවත්වාගෙන යාමට නොහැකි නම් තම සේවාදායකයා නඩුවලින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බලා සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ අල්ලස් නඩු 08 න්ම ඔහුව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සරණ ගුණවර්ධන මහතා ජාතික සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් යහපාලන රජය සමයේදී මෙම නඩු ගොනු කර තිබිණි.

(LNW)